ශ්‍රී ලංකාව ගෝලීය MICE ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට MICE Expo 2026 ඇරඹේ!
කොළඹ, 2026 ඔක්තෝබර් 06 – ශ්‍රී ලංකාව රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (MICE) සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකා MICE Expo 2026 (SL-MICE Expo 2026) අද (06) කොළඹ Shangri-La හෝටලයේදී නිල වශයෙන් ආරම්භ විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ජාතික MICE සංචාරක ආයතනය ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා රටවල් 26කින් පැමිණි ජාත්‍යන්තර MICE සහ සංචාරක මෙහෙයුම්කරුවන් 120කට වැඩි පිරිසක් සහ මාධ්‍ය නියෝජිතයන් සහභාගි වෙති.
මෙහිදී දේශීය MICE කර්මාන්තයේ සැපයුම්කරුවන් සහ සේවා සපයන්නන් 125කට වැඩි පිරිසක් ජාත්‍යන්තර සත්කාරක ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් සිය නිෂ්පාදන, සේවා සහ නවෝත්පාදන විසඳුම් හඳුන්වාදීමට අවස්ථාව සලසා ඇත. එමෙන්ම ජාත්‍යන්තර MICE වෘත්තිකයන් අතර ව්‍යාපාරික සංවර්ධනය, ජාලගත වීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ද මෙම වැඩසටහන වැදගත් වේදිකාවක් සපයයි.
ආරම්භක උත්සවය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අනෙකුත් සම්භාවනීය ආරාධිතයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් ද ඊට එක්ව සිටියහ.
SL-MICE Expo 2026 වැඩසටහන ඔක්තෝබර් 05 වන දින කොළඹ Cinnamon Grand හෝටලයේ පැවති MICE ව්‍යාපාරික සංසදයක් සහ පිළිගැනීමේ උත්සවයක් සමඟ ආරම්භ වූ අතර, ඔක්තෝබර් 06 වන දින නිල ආරම්භක උත්සවය සහ B2B ව්‍යාපාරික සැසි පැවැත්විණි. මෙම B2B සැසි යටතේ ව්‍යාපාරික හමුවීම් 10,000කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපාරික හමුවීම් මඟින් ශ්‍රී ලංකාවේ MICE කර්මාන්තය සඳහා නව හවුල්කාරිත්වයන් සහ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමටත්, ඉදිරියේදී ජාත්‍යන්තර රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ව්‍යාපාරික උත්සව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය අවස්ථා පුළුල් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.
Expo වැඩසටහන Port City Colombo හි Bellevue Beach Club හි පැවැත්වෙන Gala Dinner උත්සවයෙන් අවසන් වීමට නියමිත අතර, ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට, මාධ්‍ය නියෝජිතයන්ට සහ දේශීය කර්මාන්ත පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ MICE සේවා අත්විඳීමට එහිදී අවස්ථාව සැලසේ.
එමෙන්ම Expo වැඩසටහනෙන් අනතුරුව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය විසින් සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව පශ්චාත් වැඩසටහන් හුරුපුරුදු කිරීමේ සංචාරයක් ද සංවිධානය කරනු ලබයි. එමඟින් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, ස්වභාවික සුන්දරත්වය සහ විවිධ සංචාරක අත්දැකීම් සමඟ සමීපව හඳුනාගැනීමට අවස්ථාව සැලසේ.
SL-MICE Expo 2026 හරහා ශ්‍රී ලංකාවේ ලෝක මට්ටමේ MICE පහසුකම්, නවීන යටිතල පහසුකම්, පොහොසත් සංස්කෘතික උරුමය සහ විවිධ සංචාරක අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රදර්ශනය කරමින්, ජාත්‍යන්තර MICE සහ ව්‍යාපාරික උත්සව සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස තවදුරටත් ස්ථානගත කිරීමට අපේක්ෂා කෙරේ.
