අනෝජන්ගේ සිද්ධිය සහ තිලීපන් සැමරුම සම්බන්ධයෙන් සාමසාධක ප්රතිචාරයක්
ශ්රී ලාංකික පුරවැසියෙකු වන සිවරාසා අනෝජන් හට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වීම සහ යාපනයේ තිලීපන්ගේ පිළිරුව ඉවත්කිරීම යනු මුළු මහත් ජනසමාජයටම බලපාන අසහනකාරී තත්ත්වයන් බවට පත්වීමේ අවදානමක් සහිත, ඉතා වෙනස් සිදුවීම් දෙකකි. එවැන්නක් සිදුනොවන බවට වගබලා ගන්නා ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් මෙන්ම දේශපාලන පක්ෂ, සිවිල් සමාජය සහ ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියි.
අනෝජන්ගේ සිද්ධියේදී රජය දරන උත්සාහයන් මෙන්ම මුස්ලිම් නායකයන් ඇතුළු දේශපාලන හා ආගමික නායකයන් විසින් කරනු ලබන සමාව දීමේ ඉල්ලීම් ජාතික සාම මණ්ඩලය අගය කරයි. මුස්ලිම්, බෞද්ධ, හින්දු සහ කතෝලික නායකයන් එකමුතුව තම සහයෝගීතාව පළකිරීමට අපි උනන්දු කරවන්නෙමු. ශ්රී ලාංකික පුරවැසියකුගේ ජීවිතය සමස්ත ශ්රී ලාංකිකයන්ගේම සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් බවත්, ඔහු වෙනුවෙන් සමාව අයැදීම කිසිදු ආගමකට එරෙහිවීමක් නොවන බවත් මෙයින් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම, මෙම සිදුවීම මුස්ලිම් විරෝධී මතවාදයක් හෝ පොදු චෝදනාවක් බවට පත්කිරීමට දරන උත්සාහයන් දේශපාලන, සිවිල් සහ ආගමික නායකයන් විසින් ප්රතික්ෂේප කළ යුතුය. ජාතික සාම මණ්ඩලය අනෝජන් වෙනුවෙන් සමාව අයැදීමේ ඉල්ලීමට එක්වන්නේ මෙම හැඟීමෙනි.
තිලීපන්ගේ පිළිරුව සම්බන්ධයෙන් මතුවන්නේ වෙනස් නමුත් ඊට අදාළ සාමසාධක කරුණකි. ඉන්දු-ලංකා ගිවිසුමේ කොන්දේසිවලට විරෝධය පළකරමින් දින දොළහක උපවාසයකින් පසු 1987 සැප්තැම්බර් 26 වැනි දින මියගිය තිලීපන් පිළිබඳව බොහෝ දෙමළ ජනතාව තුළ ගැඹුරු හැඟීමක් පවතී. මෙවර සැමරුම අතරතුර ස්ථාපිත කරන ලද පිළිරුව සැප්තැම්බර් 27 වැනි දින පොලිසිය විසින් ඉවත්කරන ලදී. තහනම් සංවිධානයක් ලෙස පවතින එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයකු සැමරීම සම්බන්ධයෙන් පවතින නෛතික කරුණු රජය විසින් මතුකර ඇත. එහෙත් දෙමළ ජනතාවගේ ගැඹුරු කම්පනය නොසලකා හැරිය නොහැක. බොහෝ දෙමළ ජනතාවට, තිලීපන් සැමරීම යනු ශෝකය, අහිමි වීම සහ ඓතිහාසික මතකය සමඟ සම්බන්ධ වූවකි.
2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පිළිබඳ පනත මගින් එහි පුළුල් හානිපූරණ රාමුව තුළ ස්මාරකකරණය (memorialisation) පිළිබඳ ප්රතිපත්ති සපයා ඇති බව ජාතික සාම මණ්ඩලය පෙන්වාදෙයි. රජය හානිපූරණය සඳහා වන කාර්යාලය සම්බන්ධ කර ගනිමින් නීතියට අනුකූලව සුදුසු ස්මාරකකරණ ක්රමයක් සපයා දිය හැකිද යන්න පරික්ෂා කළ යුතුය. දැනට ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ ද දිනෙක තහනම් කර තිබූ අතර, පසුව ප්රජාතන්ත්රවාදී දේශපාලනයට අවතීර්ණ වී දැන් වසර ගණනාවක් තිස්සේ මියගිය තම සගයන් ප්රසිද්ධියේ සමරනු ලබයි. නීති රාමුව තුළ සිටිමින් මියගිය අය සිහිපත් කිරීමට ඇති ඉඩකඩ එක් ප්රජාවකට පමණක් සීමානොවිය යුතුය.
