අයවැයට එරෙහිව හෙට රාජ්‍ය සේවකයෝ මහ පාරට – නොවැම්බර් 30 වැඩ වර්ජනයක අනතුරු ඇඟවීමක් – ප්‍රසාද් පූර්ණමාල්
2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් හෙට (23) දිනයේදී දිවයින පුරා ජාතික විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදී නොමැති බව පවසමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, ගුරු, විදුහල්පති, සෞඛ්‍ය සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් ඊට එක්වීමට නියමිතය.
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා සඳහන් කළේ හෙට දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරමින් ජාතික කළු විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි.
ආණ්ඩුවේ ප්‍රතිචාරය අනුව ඉදිරි සතියේදී එය වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත්, ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණහොත් නොවැම්බර් 30 වැනිදා වන විට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ දිවයින පුරා රෝහල්වල සහායක කාර්ය මණ්ඩලය ද හෙට විරෝධතාවට එක්වන බවයි.
ඒ අනුව රටපුරා රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති එකඟතාවකට පැමිණ ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර, කම්කරු අරගල මධ්‍යස්ථානය ද හෙට පැවැත්වෙන ජාතික විරෝධතාවට සහාය පළ කරන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල වන බලපෑම්වලට එරෙහිව ඉදිරි සති දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කර ඇති බවත්, නොවැම්බර් 30 වැනිදා ඇතැම් ක්ෂේත්රවල එක්දින වැඩ වර්ජන සහ තවත් ක්ෂේත්රවල දින දෙකක වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මීටත් වඩා පුළුල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට සූදානම් බව දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් පැවසීය.
