පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය අඩාල විය හැකියි – හර්ෂ ද සිල්වා
මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධනය තවදුරටත් අඩාල විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පොලී අනුපාත ඉහළ දැමීම හරහා ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වන බැවින් එය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහ බැංකුව උද්ධමනය සියයට 9ක් දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති බැවින් ඉල්ලුම පාලනය කිරීමේ අරමුණින් පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත්, එමගින් ජනතාවගේ වියදම් කිරීම සීමා වන බවත් ඔහු පැවසීය.
එමෙන්ම, මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස සඳහන් වුවද ඉන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා, ආර්ථික දත්ත නිවැරදිව විශ්ලේෂණය කිරීමේදී එම කරුණ සැලකිල්ලට ගත යුතු බව ද සඳහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ අපේක්ෂිත ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම මෙන්ම එහි ප්රතිලාභ ජනතාව වෙත බෙදී යාම ද තවදුරටත් ප්‍රමාද විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
