රන් මාල කොල්ලකරු අල්ලා පොලිසියට භාරදුන් යුවළකට පොලිස් ත්‍යාග – ප්‍රසාද් පූර්ණමාල් 

 

වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල තබරවිල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණියකගේ ගෙල බැඳි රන් මාලයක් කඩාගෙන පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු පසුපස හඹාගොස් අල්ලා පොලිසියට භාරදුන් යුවළකට පොලිස් ත්‍යාග පිරිනමා තිබේ.

2026 මාර්තු 28 වනදා සිදුවූ මෙම සිද්ධියේදී සැකකරු පසුපස හඹාගොස් ඔහු අල්ලා පොලිසියට භාරදීමට කටයුතු කර ඇත්තේ වයික්කාල තබරවිල ප්‍රදේශයේ පදිංචි දීපිකා නිර්මලී මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන සඳරුවන් රාජපක්ෂ මහතාය.

ඔවුන් ඇතුළු සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට අද වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී පොලිස් ත්‍යාග පිරිනැමුණි.

මෙම අවස්ථාවට හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී ඒ.සී. පුල්වංශ සහ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුකෝරළ යන මහත්වරු එක්ව සිටියහ.

එමෙන්ම, සිද්ධිය සිදුවන අවස්ථාවේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ වත්මන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාට හා ඊට සහය ලබාදුන් පොලිස් නිලධාරීන්ටද මෙහිදී පොලිස් ත්‍යාග පිරිනමා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාව සමාජයේ සියලු දෙනාටම ආදර්ශයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *