යක්ෂයා සහ නිරයේ පිවිසුම දුටු බවට ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෞද්ගලික දිනපොතෙන් අනාවරණයක්
ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ සිට වසර දෙකක පමණ කාලයක් දැඩි ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ දී සිටි බව උන්වහන්සේගේ පෞද්ගලික දිනපොත් සටහන් ඇතුළත් ග්රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග අනාවරණ වී තිබෙනවා.
යක්ෂයාගේ පෙළඹවීම්වලට එරෙහිව සටන් කිරීම මෙන්ම කතෝලික සභාව තුළ තමන් සතු බලය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද උන්වහන්සේ දැඩි අභ්‍යන්තර අරගලයකට මුහුණ දී සිටි බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතම සහායකයෙකු වූ කාදිනල් වික්ටර් ෆර්නැන්ඩස් විසින් මෙම දිනපොත් සටහන් එක්රැස් කර ග්රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
‘The Private Diary of Pope Francis’ නමැති පිටු 160කින් සමන්විත මෙම ග්රන්ථයට 1992 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2024 වසරේ අගෝස්තු මාසය දක්වා උන්වහන්සේ තැබූ දිනපොත් සටහන්වලින් තෝරාගත් කොටස් ඇතුළත්.
තම ජීවිත කාලය තුළ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බවට විශ්වාස කරන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ ජනවාරි මාසයේ තැබූ සටහනක සඳහන් කර තිබෙනවා.
ඉන් එක් අවස්ථාවක් පාප් ධුරය දරමින් සිටියදී වතිකානු නිලධාරීන් සමග පැවති හමුවක් අතරතුර සිදුව ඇති බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම, 2018 වසරේ ජුනි මාසයේ තැබූ දිනපොත් සටහනක තමන් නිරයේ පිවිසුම දුටු බවත්, ඉන් දැඩි බියට පත්ව ජපමාලය අතට ගත් බවත් උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.
අනෙකුත් පුද්ගලයින් තම අභිමතය පරිදි මෙහෙයවන රූකඩ නටවන්නෙකු බවට තමන් පත්වීම දෙවියන් වහන්සේ අපේක්ෂා නොකරන බවට දැඩි හැඟීමක් පැවති බව ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණා.
මේ අතර, 2018 වසරේ චිලී රාජ්‍යයේ සිදුකළ සංචාරය අතරතුර මතුවූ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටි බව ද උන්වහන්සේගේ දිනපොත් සටහන්වල දැක්වෙනවා.
වත්මන් ලියෝ පාප් වහන්සේ පිළිබඳව ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්රශංසාත්මක අදහස් පළ කර ඇති බව කාදිනල් වික්ටර් ෆර්නැන්ඩස් සඳහන් කර තිබෙනවා.
1960 දශකයෙන් පසු පාප් වහන්සේ නමකගේ පෞද්ගලික දිනපොත් සටහන් ග්රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
වසර 12ක කාලයක් කතෝලික සභාවට නායකත්වය ලබාදුන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 වසරේ අප්‍රේල් මාසයේදී අභාවප්‍රාප්ත වූයේ 88 වැනි වියේ පසුව සිටියදීයි.
