ත්‍රිපෝෂ හදන්න ගෙනා බඩ ඉරිඟු තවමත් වරායේ
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2000ක් වරායේ රඳවා ඇති බවට ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක අනාවරණය කළා.
ඒ පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටුව හමුවේයි.
ආනයනය හා අපනයන පාලක ජනරාල්වරිය මෙම බඩ ඉරිඟු තොගය නිදහස් කිරීමට අවශ්‍ය පහසුකම් නොසැපයීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම බඩ ඉරිඟු තොගය ආනයනය කිරීමට 2024 දී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අවසර ලැබී තිබූ බවත්, ත්‍රිපෝෂ සමාගම දිනකට වසා තැබුවහොත් රුපියල් මිලියන 1.2ක වියදමක් දැරීමට සිදුවන බවත්, ඔහු කෝප් කමිටුව හමුවේ අනාවරණය කළා.
ආනයනික බඩ ඉරිඟු තොගය නිදහස් නොකිරීම හේතුවෙන් පසුගිය කාලයේ එම ආයතනය මාස දෙකක් වසා දමා තිබූ අතර, පසුගිය කාලයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතීන්වල ප්‍රමාදයන් ද බලපා ඇති බව එම කමිටුව හමුවේ හෙළිව තිබෙනවා.
ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම වයස අවුරුදු තුනත් පහත් අතර ළමයින්ට ත්‍රිපෝෂ ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ත්‍රිපෝෂ අවශ්‍යතාව මාසයකට ග්‍රෑම් 750 පැකට් මිලියන 1.8ක්.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට ඉරිගු හා සහල් මෙට්‍රික් ටොන් 1337ක් අවශ්‍ය වන අතර අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් දැනට නිෂ්පාදනය කරනුයේ මුලු අවශ්‍යතාවයෙන් සියයට 49.5ක් පමණයි.
බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදනය කර ඇත්තේ, ත්‍රිපෝෂ පැකට් 536,000ක් පමණයි.
