ආදායම පහත වැටීමත් සමග රාමායණ චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර මිල සියයට 80කින් පහළට
ඉන්දීය සිනමාවේ දැවැන්ත ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන ‘රාමායණ’ (Ramayana) චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර මිල සියයට 80ක් දක්වා අඩු කිරීමට එහි නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ, චිත්‍රපටයේ දෛනික ආදායම සැලකිය යුතු ලෙස පහත වැටීමත් සමගයි.
තිරගත කිරීම ආරම්භ කළ පළමු සතියේදී එක් දිනක් තුළ ඉන්දීය රුපියල් කෝටි 107.50ක ආදායමක් උපයා තිබූ මෙම චිත්‍රපටය ඊයේ (23) උපයා ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 12.70ක් පමණයි.
ඒ අනුව, චිත්‍රපටයේ ඉහළම දෛනික ආදායමට සාපේක්ෂව එය සියයට 89ක පහත වැටීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තත්ත්වය හමුවේ අද (24) සිට ඉන්දීය රුපියල් 99ක් වැනි ආරම්භක මිලක සිට චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදී තිබෙනවා.
මුම්බායි සහ දිල්ලි ඇතුළු ප්‍රධාන නගරවල ඉන්දීය රුපියල් 300ත් 400ත් අතර මිලකට අලෙවි වූ ප්‍රවේශපත්‍රවල මිල ද රුපියල් 99 දක්වා අඩු කර ඇති බව සඳහන්.
එමෙන්ම, ත්‍රිමාණ (3D) සහ IMAX දර්ශන සඳහා වන ප්‍රවේශපත්‍ර මිල ද සිනමා ශාලා රැසක පහත දමා තිබෙනවා.
මෙම මිල අඩු කිරීම සතියේ ඉතිරි දිනවලදී ද ක්‍රියාත්මක වන අතර, යළි ප්‍රවේශපත්‍ර මිල ඉහළ දමන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ආදායමේ පහත වැටීමක් වාර්තා වුවද, රාමායණ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාව තුළ පමණක් ඉන්දීය රුපියල් කෝටි 955ක ශුද්ධ ආදායමක් උපයා තිබෙනවා.
එහි සමස්ත ලෝක ව්‍යාප්ත දළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,700 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
නිටේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ රාම කුමරු ලෙස රන්බීර් කපූර්, සීතා ලෙස සායි පල්ලවී සහ රාවණා ලෙස යෂ් රංගනයෙන් දායක වනවා.
මේ වනවිට ඉන්දියාව පුරා සිනමා තිර 4,000ක පමණ තිරගත වන රාමායණ චිත්‍රපටයේ දෙවැනි කොටස 2028 වසරේදී එළිදැක්වීමට නියමිතයි.
