කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හම්බන්තොට වරායට රැගෙන එයි

මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබේ.

නෞකාවේ එන්ජින් කාමරයට ජලය ඇතුළු වීම හේතුවෙන් නෞකාව ක්‍රියා විරහිත වී ඇති අතර ඒ අනුව නෞකාව ආරක්ෂිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළේ නෞකාව සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවය.

නෞකාව මීටර් 160කට ආසන් දිගකින් යුත් බවත් කාර්මික දෝෂයට ලක්වන විටත් නෞකාව ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිට ඇති බවත් වාර්තා වේ.

ක්‍රියා විරහිත වීමෙන් අනතුරුව නෞකාව ටග් යාත්‍රා 4ක් ආධාරයෙන් වරාය පරිශ්‍රයට ඇදගෙන විත් තිබේ.

හම්බන්තොට වරාය පැවසුවේ නෞකාව වරායට ඇතුලු කර ගැනීමට අවශ්‍ය අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳි සිටි කාලය තුළ අවස්ථා තුනකදී වරයා මගින් නෞකාවට අවශ්‍ය සහාය ලබා දීමටද පියවර ගත් බවය.

එමෙන්ම මේ වන විට වරාය පරිශ්‍රයට රැගෙන විත් ඇති මෙම නෞකාව මේ වන විට අලුත්වැඩියා කටයුතු සඳහා වෙන් කර ඇති ස්ථානයක රඳවා ඇති බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළේය.

නෞකාවේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම මෙරට දේශීය නියෝජිත සමාගම වෙත පැවරී ඇති බවත් නෞකාව යළි පිටත්ව යන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *