ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන පිළිබඳ ආසියා-පැසිෆික් සමුළුව කොළඹදී ඇරඹේ!

ග්‍රාමීය සංවර්ධනයේ නවෝත්පාදන පිළිබඳ CIRDAP-HARTI ආසියා-පැසිෆික් සමුළුව අද (07) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඔක්තෝබර් 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තෙදින සමුළුව ආසියා සහ පැසිෆික් කලාපයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා නවෝත්පාදන, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ කලාපීය වේදිකාවක් ලෙස සංවිධානය කර තිබේ.

ආසියා සහ පැසිෆික් කලාපය සඳහා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය (CIRDAP) සහ ශ්‍රී ලංකාවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI) එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.

කලාපයේ රටවල් 13ක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, රජයේ නියෝජිතයින්, පර්යේෂකයින්, සංවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, නවෝත්පාදකයින්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ විද්වත් ප්‍රජාව ඇතුළු පිරිසක් සමුළුවට සහභාගී වෙති.

ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම, තිරසාර ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම, නවෝත්පාදන පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම කලාපීය සහයෝගීතාව සඳහා නව ප්‍රවේශයන් හඳුනා ගැනීම සමුළුවේ ප්‍රධාන අරමුණු වේ.

සමුළුවේ සමාරම්භක සැසියේදී CIRDAP-REEDS ජාත්‍යන්තර ග්‍රාමීය සංවර්ධන නවෝත්පාදන අභියෝගය 2026 යටතේ තෝරාගත් නවෝත්පාදකයින් වෙත සම්මාන ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. එම සම්මාන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාවේදී ‘Seeds of Change: Innovations in Rural Development Across Asia and the Pacific’ නමැති ප්‍රකාශනය ද එළිදක්වන ලදී.

මෙම සම්මානලාභී නවෝත්පාදකයින් බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන CIRDAP සාමාජික රටවල් 13 නියෝජනය කරති.

CIRDAP සහ ඉන්දියාවේ REEDS ආයතනය එක්ව සංවිධානය කළ 2026 ජාත්‍යන්තර ග්‍රාමීය සංවර්ධන නවෝත්පාදන අභියෝගය සඳහා CIRDAP සාමාජික රටවලින් නවෝත්පාදන ඉදිරිපත් කිරීම් 187ක් ලැබී තිබේ. ඒ අතරින් ජාත්‍යන්තර ජූරි කමිටුවක් විසින් සිදු කළ තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව කැපී පෙනෙන නවෝත්පාදන 15ක් හඳුනාගෙන ඇත.

මෙම නවෝත්පාදන මඟින් ඩිජිටල් කෘෂිකර්මාන්තය, දේශගුණික සුහුරු ජීවනෝපායන්, චක්‍රීය ආර්ථික විසඳුම්, ග්‍රාමීය මූල්‍ය, තිරසාර ධීවර කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, කෘෂිකාර්මික වටිනාකම් දාම සහ ප්‍රජා පාදක ව්‍යවසාය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කර ඇත.

ග්‍රාමීය ප්‍රජාවන්ගේම මැදිහත්වීමෙන් බිහිවන නවෝත්පාදන හරහා තිරසාර සංවර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම සහ එම අත්දැකීම් කලාපීය වශයෙන් හුවමාරු කර ගැනීම සඳහා මෙම සමුළුව වැදගත් වේදිකාවක් වේ.

මෙම අවස්ථාවට අදාළ අමාත්‍යාංශ, CIRDAP සාමාජික රටවල්, HARTI සහ අනෙකුත් හවුල්කාර ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

END/GONP/MMP/07102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *