රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, අදාළ ප්‍රචාර සඳහා භාවිත කර ඇති තොරතුරු 2022 වසරේ මෙරට පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ නඩත්තු කරන ලද යෙදුමක ඇතුළත් වූ පැරණි තොරතුරු මත පදනම්ව සකස් කර ඇති බවයි.

එම යෙදුම 2022 ජූලි මාසයෙන් පසුව භාවිතයට ගෙන නොමැති බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

වර්තමානයේදී රෝගී දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යනු ලබන අතර, රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැපයුම් දාමය ද ස්ථාවරව පවත්වාගෙන යන බව විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කරයි.

එබැවින්, වසර කිහිපයක් පැරණි තොරතුරු වත්මන් තත්ත්වය ලෙස හුවා දක්වමින් පළවන මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනවශ්‍ය බියක් හෝ අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්නා ලෙස රෝහල් සේවාලාභීන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටී.

END/GONP/MMP/06102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *