අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරමින් එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සහ 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) එළිදැක්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කොළඹදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දෙවසර තුළ අපනයන ක්ෂේත්‍ර අත්කරගෙන ඇති වර්ධනය පදනම් කරගනිමින් අතීත වාර්තා අභිබවා යන නව ඉලක්ක වෙත ගමන් කළ යුතු බවයි. අපනයනයට බාධා වන යල්පැනගිය නීති හා රෙගුලාසි සංශෝධනය කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026–2030 සහ ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ සම්බන්ධයෙන් නව උපදේශක කමිටු සාමාජිකයන් දැනුවත් කරන ලදී.

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සහ අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු වේ.

නව උපදේශක කමිටු 24 වෙළෙඳ පහසුකම්, වෙළෙඳ ප්‍රවර්ධනය, ව්‍යාපාර හා ආයෝජන පරිසරය, ගුණාත්මකභාවය, කුසලතා හා නවෝත්පාදන ඇතුළු ප්‍රතිපත්තිමය අංශ මෙන්ම ඇඟලුම්, රබර්, පොල්, මැණික් හා ස්වර්ණාභරණ, ඖෂධ, මුහුදු ආහාර, ඩිජිටල් සේවා, සැකසූ ආහාර ඇතුළු ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර ආවරණය කරයි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් සහ උපදේශක කමිටු සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

END/GONP/MMP/07102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *