ගැටඹේ බෝධීන් වහන්සේ මහවැලි ගංඟාවට ගිලා බැසීමේ අවධානමක් ? මහනුවර වාර්තාකරු

ඓතිහාසික ගැටඹේ රාජෝවපනාරාමයේ වසර 500 ක පමණ ඉතිහාසයක් ඇති බෝධීන් වහන්සේ මහවැලි ගංඟාවට ගිලා බැසීමේ අවධානමක් මතුව ඇතැයි රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පැටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.
බෝධීන් වහන්සේ පිහිටි පරිශ්‍රයේ ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු ගොඩනැගිලි කිහිපයක්ම ඇති ප්‍රදේශයේ බිම ඉරිතලා ගොස් තිබෙන බව පෙන්වා දෙන සිරිවිමල හිමියෝ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් ඓතිහාසික පුදබිමේ කොටසක් මහවැලි ගංඟාවට බිලිවීම වැලක්විය නොහැකි බව ද අවධාරණය කරති.

වර්ෂාව වැඩි කාල වලදී ගංඟාව පිටාර ගැලීම හේතුවෙන් පුදබිම ආශ්‍රිත ප්‍රදේශයේ ඉවුරු ඛාදනය වීමෙන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම සම්බන්ධව සිරිවිමල හිමියන් අවස්ථා කිහිපකයදී කළ දැනුම් දීම් වලට අනුව 2021 දී විහාරස්ථාන භූමියේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස රුපියල් මිලියන 210 ක වියදමින් මහවැලි ගං ඉවුරේ ආරක්ෂිත බැම්මක් ඉදි කිරීම සඳහා වන වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.
එම බැම්ම ඉදිකිරීම සඳහා බෝධීන් වහන්සේ පිහිටි පරිශ්‍රය දක්වාම පස් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවත් මුදල් අපහසුතා නිසා එහි වැඩකටයුතු අතරමග නතර කිරීම හේතුවෙන් මේවන විට පුදබිම ආශ්‍රිත ප්‍රදේශය විශාල අවධානමකට ලක්ව තිබෙන බවත් සිරිවිමල හිමියෝ ප්‍රකාශ කළහ.

අධික වර්ෂාවත් සමඟ බෝධීන් වහන්සේ පිහිටි ආශ්‍රිත ප්‍රදේශයේ ඉදි තැලීම් ඇතිවී ගිලා බැසීමේ අවධානමක් මතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

මේ සම්බන්ධව කළ දැනුම්වත් කිරීමකට පසු ක්‍රීඩා ,තරුණ කටයුතු හා මහවැලි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදාළ බලධාරීන් සමඟ ගැටඹේ පුදබිමට අද (18) පැමිණ තිබේ.
මුදල් අර්බුදය හමුවේ ආරක්ෂිත බැම්ම ඉදිකිරීමේ කටයුතු නතර වී තිබුණද එහි පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන බැම්මේ ඉදිකිරීම් කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *