රටට මෙහෙම වුනේ ජයසුන්දර හා කබ්රාල් නිසයි ගුණතිලක රාජපක්ෂ මහනුවරදී කියයි – මහනුවර වාර්තාකරු

රට ආර්ථික අතින් අද වැටී තිබෙන තත්ත්වයට වගකිය යුත්තේ පී.බී ජයසුන්දර,අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කණ්ඩායම බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.
එම නිලධාරීන් හමුවීමට හෝ අවස්ථාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොලැබුණු බවද ඒ මහතා කීය.
මහනුවර දස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැඩබාර ගනිමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම නිලධාරීන් ජනපතිවරයාට ආර්ථිකය සම්බන්ධ නිවැරැදි තොරතුරු ලබා නොදෙමින් එතුමා නොමඟ යැවූ බවත් මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට කල්තියා ජනපති ධූරයෙන් ඉවත්ව යෑමට සිදුවූ බවත් හෙතෙම කීවේය.
රට විනාශය කරා ගෙනගිය නිලධාරීන්ට දඬුවම් ලබාදීම ජනතා අපේක්ෂාව බවත් ජනතා නියෝජිතයෙකු ලෙස තමන් ද එම ස්ථාවරයේ සිටින බවත් රාජපක්ෂ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම් පසුබෑමක් පසුගිය කාලය තුළ සිදුවූ නමුත් අඩුපාඩු නිවැරදිව තේරුම් ගෙන ඒවා නිවැරැදි කර ගනිමින් පක්ෂය යළි නැගී සිටින බවත් ඒ සඳහා අවශ්‍යය සංවිධාන කටයුතු මේවන විට ආරම්භ කර තිබෙන බවත් සභාපතිවරයා පැවසුවේය.
රටේ ජනතාව තාමත් රාජපක්ෂවරු සමඟ සිටින බවත් විපක්ෂයේ කණ්ඩායම් රාජපක්ෂවරු එපා යැයි කියන්නේ දේශපාලනික වශයෙන් ඔවුන් රාජපක්ෂවරුන්ට බය නිසා බවත් කී මන්ත්‍රීවරයා අරගලයේ සැබෑ ස්වරූපය දැන් ජනතාව තේරුම් ගෙන තිබෙන බවද අවධාරණය කළේය.