උණවටුන ප්රදේශයේදී විදේශීය දරුවනට පහරදෙන බවට තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට – දමිත් සඳනුවන් කීර්ති
ගාල්ල උණවටුන සංචාරක කලාපයේ විදේශික දරුවන්ට පහර දෙන බවට තර්ජනය කළ පුද්ගලයෙකු (02දා) සැකපිට අත්අඩංගුවට ගත්බව උණවටුන සංචාරක පොලිස් කාර්යංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු උණවටුන සංචාරක කලාපයේ මාර්ගයක රැඳී සිටි බාලවයස්කාර විදේශ ජාතික දරුවන් පිරිසකට පහර දෙන බවට පවසමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ ඇත.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු වලට අනුව උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 12 සහ 13 පමණ වන විදේශික දරුවන් කිහිපදෙනෙකු මාර්ගයේ රැඳී සිටියදී, තම ව්යාපාරික ස්ථානයට ඉන් බාධා වන බවට චෝදනා කරමින් සැකකරු මෙලෙස පහර දෙන බවට තර්ජනය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සැලවීමත් සමඟ වහා ක්රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ වලින් පසුව ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය තිබිණි.
උණවටුන පොලිස් සංචාරක කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ප්රියංකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ඇත.
