නුවරඑළිය මීපිලිමානේ කුලී නිවසකදී බාබකියු (BBQ) උදුනෙන් පිටවූ විෂ වායුවක් ආශ්වාස කිරීමෙන් අඹුසැමි යුවළක් මරුට – ආර්.එෆ්.එම්.සුහෙල්
නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන්ගෙන සිටි අඹුසැමි යුවළක් වසා තිබූ කාමරයක් තුළ බාබකියු (BBQ) උදුනක් දල්වාගෙන සිටියදී පිටවූ විෂ වායුවක් ආශ්වාස වීමෙන් අද (03) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු සහ 46 හැවිරිදි ඔහුගේ බිරිඳ වන අතර, මියගිය පිරිමි පුද්ගලයා නැව් කපිතාන්වරයකු ලෙස සේවය කළ අයකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම අඹුසැමි යුවළ නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිට ඇති අතර, එම ඉදිකිරීම් අවසන් වන තෙක් තාවකාලිකව අසල නිවසක් කුලියට ගෙන එහි නවාතැන්ගෙන සිට තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති අධික ශීතල කාලගුණය හේතුවෙන් ඔවුන් රාත්‍රියේ කාමරය තුළ බාබකියු උදුන දල්වාගෙන නිදාගෙන සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි. බාබකියු සකස් කර ආහාරයට ගැනීමෙන් පසු උදුන නිවා නොදමා නිදාගැනීම මෙම මරණවලට හේතු වන්නට ඇතැයි විමර්ශන සිදුකරන නානුඔය පොලිසියේ නිලධාරීහු සඳහන් කරති.
අද (03) අලුයම මියගිය යුවළගේ ඥාතීන් ඔවුන්ගේ ජංගම දුරකථනවලට ඇමතුම් ලබාගෙන ඇතත්, ඒවාට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර තිබේ.
ඒ අනුව අදාළ නිවසට ගොස් පරීක්ෂා කළ ග්‍රාම නිලධාරීවරයා අඹුසැමි යුවළ මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ නානුඔය පොලිසියට දැනුම් දී ඇත.
නුවරඑළිය නියෝජ්‍ය පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතාගේ උපදෙස් පරිදිත්, නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව මහතාගේ අධීක්ෂණය යටතේත්, නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකෙරේ.
නුවරඑළිය මහේස්ත්රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව මියගිය දෙදෙනාගේ දේහයන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර, නුවරඑළිය වැනි අධික ශීතල සහිත ප්‍රදේශවල සංචාරය කරන ජනතාව බාබකියු සකස් කිරීමෙන් පසු හෝ ශීතලෙන් ආරක්ෂා වීම සඳහා එම උදුන් නිවාස හා කාමර තුළ දල්වාගෙන නිදාගැනීමෙන් වළකින ලෙස පොලිසිය අනතුරු අඟවයි.
බාබකියු උදුන්වල භාවිත කරන අඟුරු අසම්පූර්ණව දහනය වන විට වර්ණයක් හෝ ගන්ධයක් නොමැති මාරාන්තික කාබන් මොනොක්සයිඩ් වායුව නිපදවිය හැකිය. එම වායුව සංවෘත කාමරයක් තුළ පැතිරීමෙන් එය ආශ්වාස කරන පුද්ගලයන්ට නොදැනුවත්වම විෂවීම, සිහිසුන්වීම සහ මරණය පවා සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
