රුපියල් මිලියන 60.2ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් 60,265,000ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) සහ මධ්‍යම තැපැල් අංශයේ නිලධාරීන් අද(28) සමත්ව තිබේ.

තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් එවා තිබූ විදේශීය තැපැල් පාර්සල් නවයක් තුළ සඟවා තිබූ කුෂ් ගංජා, හෂීෂ්, එක්ස්ටසි පෙති සහ කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය මෙලෙස සොයාගෙන ඇත.

පසුගිය මාස කිහිපය තුළ විදේශයන්හි සිට ලැබෙන තැපැල් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ මධ්‍යම තැපැල් අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබේ.

අනතුරුව, අදාළ පාර්සල් ඒවායේ නියමිත ලබන්නන් විසින් භාරගන්නා තෙක් රඳවා තබා ගැනීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත. එහෙත් ලබාදී තිබූ කාලසීමාව තුළ එම පාර්සල් භාරගැනීමට ලබන්නන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (PNB) නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, මධ්‍යම තැපැල් අංශයේ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අදාළ පාර්සල් නවයම විස්තරාත්මක පරීක්ෂාවකට ලක් කර ඇත.

එහිදී තායිලන්තයෙන් පාර්සල් තුනක්, ස්පාඤ්ඤයෙන් පාර්සල් දෙකක්, එක්සත් රාජධානියෙන් පාර්සල් දෙකක් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් පාර්සල් දෙකක් එවා තිබූ බව අනාවරණය වී තිබේ.

මෙම පරීක්ෂාවේදී රුපියල් 49,340,000ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් කුෂ් ගංජා ග්‍රෑම් 4,934ක් සොයාගෙන ඇත. මීට අමතරව, රුපියල් 10,350,000ක වටිනාකමකින් යුත් හෂීෂ් ග්‍රෑම් 1,035ක්, රුපියල් 375,000ක වටිනාකමකින් යුත් එක්ස්ටසි පෙති ග්‍රෑම් 25ක් සහ රුපියල් 200,000ක වටිනාකමකින් යුත් කොකේන් ග්‍රෑම් 4ක් ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව, මෙම මෙහෙයුමේදී සොයාගත් මත්ද්‍රව්‍යවල සමස්ත ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් 60,265,000ක් වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේදී මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

END/GONP/MMP/28102026

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *