උතුරු-මැද පලාත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක්

පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි ත්‍රෛභාෂා පාසලක් සඳහා ඉන්දියානු රජයේ සහාය ඇතිව අර්ධ වශයෙන් ඉදිකර ශ්‍රී ලංකා රජයට භාරදී ඇති ගොඩනැගිලි, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ අරමුණින් වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සහ විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා, නිවාස ඉදිකිරීම් හා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී අදාළ ගොඩනැගිලිවල වත්මන් තත්ත්වය, ඒවා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාව සහ උතුරු-මැද පලාත් තරුණ තරුණියන්ට උසස් වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

සාකච්ඡාවෙන් අනතුරුව, අදාළ ගොඩනැගිලි වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරාගෙන උතුරු-මැද පලාත්  වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව පළ විය.

මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ පලාත් 09 මුලික කරගෙන ඉදිකිරීමට සැලසුම් කර ඇති වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල, විශේෂයෙන් එම පලාත් දරුවන්ට මූලිකත්වය ලබාදෙමින් දිවයිනේ දරුවන් සදහා වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමටත්, වෘත්තීය පුහුණුවේ සිට උපාධියක් ලබාගැනීම දක්වා අඛණ්ඩව ඉදිරියට යාමටත් අවශ්‍ය පහසුකම් සැලසීමයි.

ඒ අනුව, උතුරු-මැද පලාත් තරුණ පරපුරට තම ප්‍රදේශය තුළම උසස් වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථා පුළුල් කරමින්, රැකියා වෙළෙඳපොළට ගැළපෙන නිපුණතා සහිත මානව සම්පතක් බිහිකිරීම සඳහා මෙම වැඩපිළිවෙළ වැදගත් පියවරක් වනු ඇත.

වෘත්තීය අධ්‍යාපනය තුළින් උපාධියක් දක්වා ගමන් කළ හැකි මාර්ගයක් සමස්ත දිවයිනේ දරුවන්ට විවෘත කිරීම මෙම වැඩපිළිවෙළේ අපේක්ෂාවයි.

END/GONP/MMP/28102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *