වෙළෙඳ නෞකා ආරක්ෂක මෙහෙයුම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

වෙළෙඳ නෞකාවල ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව සපයන පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඔක්තෝබර් 20 වැනිදා ගාල්ල, පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වලට අයත් අවි ආයුධ සහ උපකරණ ගබඩා කිරීම සඳහා නාවික හමුදාව සපයනු ලබන පහසුකම් මෙහිදී නිරීක්ෂණය කෙරිණි. වෙළෙඳ නෞකාවල ආරක්ෂක කණ්ඩායම් යෙදවීමට අදාළව නාවික හමුදාව ක්‍රියාත්මක කරන නෞකාගත ආරක්ෂක කණ්ඩායම් සඳහා සහාය සැපයීමේ (Onboard Security Team – OBST) මෙහෙයුම්වලට මෙම පහසුකම් අයත් වේ.

විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ස්වාධීනව මෙම මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ 2025 ඔක්තෝබර් 03 වැනිදාය. පසුගිය වසරක කාලය තුළ එම මෙහෙයුම් මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.32ක පමණ විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති අතර, එය ජාතික ආර්ථිකයට දායකත්වයක් සපයා තිබේ.

දැනට විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් 28ක්, දේශීය නියෝජිත ආයතන 10ක් හරහා සිය මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් හා සේවාවන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබා ගන්නා අතර මෙම මෙහෙයුම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සැලසුම්සහගතව ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී මෙහෙයුම්වල ප්‍රගතිය සමාලෝචනය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කෙටි කාලයක් තුළ මෙවැනි මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ජාතික ආර්ථිකයට දායක වීම සම්බන්ධයෙන් නාවික හමුදාව ඇගයීමට ලක් කළේය. එමෙන්ම, ඉදිරියේදී ද මෙම මෙහෙයුම් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා , ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ උපදේශක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ (සිවිල් ආරක්ෂාව හා සංවර්ධන) අතිරේක ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

END/GONP/MMP/21102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *