නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි
ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින් නවරාත්‍රී පූජෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
පූජෝත්සවය ආරම්භ කරමින් හින්දු පූජකවරු ආගමික චාරිත්‍රවල නිරත වූ අතර, ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, යහපත් සිතිවිලි පෙරදැරිව සිදුකරන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බව සඳහන් කළාය. එසේම, අනෙකුත් සංස්කෘතීන්ට ගරු කරමින් ආගමික හා සංස්කෘතික සහජීවනය ශක්තිමත් කිරීම තුළින් වඩාත් යහපත් රටක් ගොඩනැඟිය හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, හින්දු විශ්වාසයන්ට අනුව දුර්ගා දේවියගේ ආශීර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුර උදාවී, සරස්වතී දේවියගේ ආශීර්වාදයෙන් ප්‍රඥාව වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරන බවයි. සියලු දෙනාගේ දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්ශයක් බව ද කථානායකවරයා පැවසීය.
නවරාත්‍රී උත්සවය හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන ආගමික උත්සවයකි. එය දින නවයක් පුරා පැවැත්වෙන අතර, දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී යන දේවතාවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම මෙහි ප්‍රධාන අංගයකි. පළමු දින තුන දුර්ගා දේවිය වෙනුවෙන් ද, ඊළඟ දින තුන ලක්ෂ්මි දේවිය වෙනුවෙන් ද, අවසන් දින තුන සරස්වතී දේවිය වෙනුවෙන් ද වෙන් කෙරේ. අනතුරුව දසවැනි දිනයේදී පැවැත්වෙන “විද්‍යාරම්භම්” පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරයි.
මෙම අවස්ථාවට හින්දු ආගමික පූජකවරුන්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) හිනිඳුම සුනිල් සෙනෙවි මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මෙන්ම අනුබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
END/PMMD/MMP/21102026
