බදුල්ලේ ප්‍රජා ජල ව්‍යාපෘති 06ක් ජනතා අයිතියටබදුල්ලේ ප්‍රජා ජල ව්‍යාපෘති 06ක් ජනතා අයිතියට

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ‘ජන දිය සම්පත’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, පස්සර සහ හාලිඇල ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකරන ලද ප්‍රජා ජල ව්‍යාපෘති 06ක් ඊයේ (03) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරේතොට වසමට අයත් සෙන් ජේම්ස් ඉහළ කොටස ප්‍රජා පානීය ජල යෝජනාක්‍රමය තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ හාලිඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම වැඩසටහන නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරයි.

සෙන් ජේම්ස් ප්‍රජා මූල සංවිධානය මඟින් රුපියල් මිලියන 1.7ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මඟින් සෙන් ජේම්ස් වතුකරයේ පවුල් 155කට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජල පහසුකම් සැලසෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, සෙන් ජේම්ස් වතුකරයේ ජනතාව දිගු කාලයක සිට ජල ගබඩා ටැංකි ඇතුළු මූලික යටිතල පහසුකම් නොමැතිව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි බවයි.

වත්මන් රජය මඟින් මෙම වසම සඳහා පමණක් රුපියල් මිලියන 950කට අධික මුදලක් වෙන් කර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත්, මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නංවා ඔවුන්ට ගෞරවනීය සහ යහපත් ජීවිතයක් උරුම කරදීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

END/GONP/MMP/05102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *