කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී
කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (02) පෙරවරුවේ පැවැත්වීණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව ගුරුකුල විද්‍යාලයට මෙම අවස්ථාව හිමි විය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ද සිදුවිය.
එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කළාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමඟින් පාසල් ළමුන්ට ඇති වැදගත්කම සම්බන්ධව පෙන්වා දෙන ලදී.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ මෙම අවස්ථාව සනිටුහන් කරමින් පාසල වෙත වටිනා පැළයක් ප්‍රදානය කිරීම ද සිදුවිය.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (මානව සම්පත්) චූලා හේරත්, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති කුසල ප්‍රනාන්දු යන මහත්ම මහත්මිහුද, ගුරු භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
