එකම ලියාපදිංචි අංකය සහිත යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත හලාවත පොහොට්ටු මන්ත්‍රී 15 දක්වා රිමාන්ඩ් – ප්‍රසාද් පුර්ණමාල්

එකම ලියාපදිංචි අංකය සඳහන් කර තිබූ යතුරුපැදි දෙකක් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (11) සමත්ව තිබේ.

හලාවත, මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසේ නවතා තිබියදී මෙම යතුරුපැදි දෙක අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මන්ත්‍රීවරයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම යතුරුපැදි දෙකෙහි සඳහන් කර තිබූ ලියාපදිංචි අංකය මන්ත්‍රීවරයාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර ඇති යතුරුපැදියක ලියාපදිංචි අංකය බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සහ යතුරුපැදි දෙක අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත

හලාවත කොට්ඨාසය භාර වැඩබලන පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් පරිදි, හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *