දූෂණයට/අල්ලසට තිත තබා ඇති රජයක් යටතේත් මෙසේ සිදුවිය හැකිද?
පමුණුගම ඒපාමුල්ල වෙරළ තීරයේ වෙන කුමන ස්ථානයකවත් දැකිය නොහැකි පරිදි රල කඩන සීමාවේ වෙරළටම අලලා විශාල බැම්මක් ඉදිකරමින් පවතිි අතර, දූෂණයට/අල්ලසට තිත තබා ඇති රජයක් යටතේත් මෙවැනි විනාශකාරී ක්‍රියාකාරකම්වලට අවසර දෙනවා නම් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරියක් සිටිය යුතුද යැයි පරිසරවේදීන් මෙන් ම ප්‍රදේශයේ ජනතාව ප්‍රශ්න කරති.
මේ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය අවසර දී ඇති බව ඉඩම මිලදී ගත් N Seelanatha Holdings Private Ltd සමාගමේ නිර්තාජ නැමැත්තා දුරකථනයෙන් තමන් සමග පවසා සිටි බවත් එහි හඬ පට තමන් සතුව ඇති බවත් පරිසරවේදී දිනූෂ නානායක්කාර මෝජෝ නිවුස් වෙත පැවසීය.
මෙලෙස රළ බිඳෙන ස්ථානයටම ආසන්නව විශාල Stone seawall එකක් දැමීම තුල රළේ ශක්තිය එක ස්ථානයකට සංකේන්ද්‍රණය වන බැවින් බැම්ම ඉදිරිපිට scouring නිසා වැලි හා පතුල් ද්‍රව්‍ය ඉවත් වීම සිදුවිය හැකි යැයි පැහැදිළි කළ දිනූෂ නානායක්කාර, බැම්මේ දෙපසින් වෙරළ ඛාදනය වැඩිවීමේ අවදානම ඉතා ඉහළ යෑමේ හැකියාව ඇති බවත්, මෙසේ එක් ඉඩමක් ආරක්ෂා කළත්, අසල්වැසි වෙරළ කොටසට සම්පූර්ණයෙන් හානි විය හැකි යැයි පෙන්වා දෙයි.
“මේ ස්ථානයේ කලින් තිබූණු වෙරළාසන්න ශාක සියල්ල ම මේ වන විට කපා විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම මේ කැණීමේදී ඉවත් වෙන වැලි සියල්ල ඒ ඉඩමටම දමන ආකාරයක් අපි නිරීක්ෂනය කළා.”
මෙලෙස ස්වභාවික සුන්දරත්වය සහ පාරිසරික හානි ඇතිවන ආකාරයේ සංවර්ධන කටයුතු සඳහා අවසර දීමේ හැකියාවක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට තිබේ නම් එම ආයතන වලින් ඇති ඵලය කුමක්ද..? ඒවා ඇත්තේ අහිංසක සාමාන්‍ය ජනතාව මර්ධනය කිරීමට පමණද? යන්න ඔව්හු ප්‍රශ්න කරති.
ප්‍රදේශයේ සාමාන්‍ය පුද්ගලයෙකුට එවැනි ආයතන තුළින් මුහුදු සීමාවේ සුළු ඉදිකිරීමකට හෝ අවසර දෙනාවද යන්න අසන දිනූෂ නානායක්කාර, එම ආයතනවල මෙම දෙබිඩි ස්වභාවය තවමත් වෙනස් නොමැති බව ඔවුන් සමග මුහුණට මුහුණලා කරන විවිධ සාකච්ඡා වලදී මනාව පැහැදිලි වී තිබෙන බව සදහන් කරමින් “ඇත්තටම මෙම විනාශකාරී දූෂණ ක්‍රියා දූෂණයට/ අල්ලසට තිත තබා ඇති රජයක් යටතේත් මෙලෙස සිදුවන්නේ කෙසේද?” යන්න ඔහු ප්‍රශ්න කරයි.
- මෙලනි මානෙල් පෙරේරා
