‘ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම’ සම්බන්ධ පැමිණිල්ලක් ගැන CID විමර්ශනයක්

ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව නිවේදනය කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ඉන්ධන බෙදා හරින නියෝජිතයන් බව කියන කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර බව ත් ඒ තුළින් මහ ජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති බව ය.

සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇති කර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු 3%ක කොමිස් මුදල අහෝසි කිරීමට විරෝධය පළ කරමින් බෙදුම්කරුවන්ගේ සංගමය ඉකුත් සිකුරාදා (පෙබ. 28) සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකීමට තීරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *