තරුණ ප්‍රජාව දේශපාලන සාක්‍ෂරතාවය මැණවින් ප්‍රගුණ කළ යුතුයි – නීතිඥ ජගත් ලියනාරච්චි

සැප්තැම්බර් 15 වෙනි දා ට යෙදුන “ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය” සැමරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොන්ග්‍රසය විසින් තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර දී දියත් කළේය. ආදර්ශ මැතිවරණයක් ද පැවැත්විණි.
“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය” සැමරීමේ මෙවර තේමාව “මීළග පරම්පරාව සවිබල ගැන්වීම” වු අතර, “ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය” අර්ථගන්වමින් “මහජන ඡන්දයේ ඇති වටිනාකම” සම්බන්ධයෙන් දැනුවත් කිරීම, නීතිවේදී මෙන්ම සමාජ ක්‍රියාකාරී ජගත් ලියනාරච්චි විසින් සිදුකළේය.

“පසුගිය වකවානුව තුළ ඇතිවුණු සිද්ධීන් සමග මහජනතාව දේශපාලනඥයින් පිළිබඳව විශාල කළකිරීමක පසුවනවා වුවත් ඡන්ද අයිතිය ඉතාමත් වැදගත් කාරණාවක්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගැනීමට ඡන්ද අයිතිය ඉතාමත් ම වැදගත් වෙනවා. ලෝකයේ තිබෙන හොඳම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය නොවුනාට, අපට තිබෙන විකල්ප අතරින් හොඳ පාලන ක්‍රමයක් විධියට ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න සිදුවෙනවා. මානව ඉතිහාසය තුළ අත්හදා බැලූ විවිධ පාලන ක්‍රම අතරින් දැනට අපි පිළිගන්නා හොඳම ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදය.” යැයි ජගත් ලියනාරච්චි පැහැදිළි කළේය.
“අපි ඒකාධිපතිවාදය , හමුදා පාලනය අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා දැනට අපිට ඉතිරිව තිබෙන හොඳම පාලන ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සම්පුර්ණ වශයෙන්ම ඡන්ද අයිතිය මත . අද පවතින ලංකාව තුළ ජීවත්වන තරුණ තරුණියන් තමන්ගේ ඡන්ද අයිතිය නිවරැදිව භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා.” යැයි කීවේය.

සාක්‍ෂරතාවයෙන් ඉදිරියෙන් සිටින ලංකාව වැනි රටක් ඡන්ද පත්‍රිකාව කියවාගැනීමේදී වැරිදීමට ඇති ඉඩකඩ බොහෝ අවම යැයි ප්‍රකාශ කළ නීතිඥ ලියනාරච්චි, ඡන්දය භාවිතා කිරීමේදි ඇතිවන විශාල ගැටලුව නම් තමන් නිවරැදි ම අපේක්‍ෂකයාටද තමන්ගේ ඡන්දය භාවිතා කරන්නේ ද යන ගැටලුව යැයි කීවේය.
නිවරැදි නොවන අපේක්‍ෂකයෙකු හට තමන්ගේ ඡන්දය භාවිතා කිරීමෙන් පසුකාලීනව හොරු තක්කඩි යනුවෙන් එම දේශපාලනඥයින් හට බැණවැදීම ලංකාවේ පැෂන් එකක් බවට පත්වී ඇතැයි පැවසු නීතිඥ ලියනාරච්චි, නමුත්, නිවරැදි ම අපේක්‍ෂකයා තෝරාගැනීමේ දේශපාලන සාක්‍ෂරතාවය තරුණ ප්‍රජාව විසින් මැණවින් ප්‍රගුණ කළ යුතු යැයි පැවසීය.
“මන්ද, එය අදට වඩා එළඹෙන හෙට දවස තීරණය කරගැනීමට විශාල වශයෙන් පිටුවහලක් වනු ඇති. අපි නිවරැදිව අපේ ඡන්දය භාවිතා කළොත් අපිට හොඳ පාලකයෝ ලැබෙයි. අපේ රට
දියුණු වෙයි. අපි වැරදි අය පත්කරගත්තොත් අපේ රට අගාධයට යයි.” යනුවෙන් පැහැදිළි කළේය.

උගතුන් රට හැර යන විට , රටේ දියණුවට වැඩකළ හැකි සම්පත් දායකයින් රට හැර යන විට රට දියුණු කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු, රටේ දියුණුව සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගැනීම සඳහාත් තරුණ ප්‍රජාව සක්‍රීය ලෙස දායක විය යුතු යැයි සඳහන් කරමින් , එළඹෙන මැතිවරණයේදී වටිනා ඡන්දය ප්‍රකාශ කරන ලෙසටත් , රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපේක්‍ෂකයින්ගෙන් අපේක්‍ෂා කරන දේ නිවරැදිව ඉටුකරගන්නට හැකියාව බොහෝ ලෙස ඇති අපේක්‍ෂකයෙකු හට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න යැයි ඉල්ලා සිටියේය.
එමෙන් ම, දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්ති කෙරෙහි ද වඩාත් විමර්ශනාත්මකව සිතාබලන ලෙසට ද , මැතිවරණයකින් පසුව ද තමන් ඡන්දය ලබාදුන් මෙන් ම බලයේ සිටින දේශපාලනඥයින් ඔවුන් ගේ පොරොන්දු ඉටුකරනවාද නැද්ද යන්න විපරම් කිරීම තරුණ ප්‍රජාවගේ වගකීමක් බවත් පෙන්වා දෙමින් එසේ නොවන්නේ නම් උපායශීලිව එම පොරොන්දු ඉටුකරවා ගැනීමට සක්‍රීයව දායකවිය යුතු බව අවධාරණය කළේය.