කුසගින්න නිවා ගැනීමට ගිය තරුණයාට සිදු වූ ඛේදවාචකය – මහනුවර වාර්තාකරු
රෑට කන්න ගෙදර මොනවත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ එහා පැත්තේ ඉඩමේ පොල් ගහෙන් ගෙඩියක් වැටෙන ශබ්දයක් ඇසුණා. අයියා කිව්වා නංගි පොල් සම්බෝලයක් හදා ගන්න මම පොල් ගෙඩිය ඇහිදන් එන්නම් කියලා. මාත් අයියත් එක්ක ගියා. එක පාරටම අයියා බිම ඇද වැටුණා.මම කෑ ගැහුවා. ඒත් එක්කම මටත් විදුලි සැර වැදුණා.
වික්ටෝරියා රක්ෂිත ඉඩමක ඇති පොල් ගසකින් වැටුණු ගෙඩියක් අහුලා ගැනීමට ගිය අවස්ථාවේ සතුන් දඩයම් කිරීම සඳහා යොදා තිබූ විදුලි රැහැනික පැටලී විදුලි සැර වැදීමෙන් මියගිය කුණ්ඩසාලේ විදුරගේ ප්‍රදේශයේ පදිංචි රාජ් කුමාර් නැමැති 21 හැවිරිදි තරණයාගේ සොහොයුරිය වන සෙල්වි හරිනි (17) නැමැති පාසැල් සිසුවිය පැවසුවාය.
රෑට කන්න මාලුවක් හදා ගන්න ගෙදර මොනවත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ පොල් ගෙඩියක් වැටෙන සද්ධයක් ආවා. අයියා කිව්වා නංගී සම්බෝලයක් හදාගෙන බත් කමු කියලා. එහා පැත්තේ තියෙන්නේ රක්ෂිත ඉඩමක්. මට කලින් අයියා ඒ පැත්තට ගියා. ටික දුරක් ගිහින් එයා එක පාරටම බිම වැටුණා. මම ළඟට යන්න යනකොට මටත් විදුලි සැර වැදුණා. මම දුවගෙන ඇවිත් තාත්තට විස්තරය කිව්වා.
තරුණයාට විදුලි සැර වැදි තිබුණු ස්ථානය වික්ටෝරියා ජලාශ රක්ෂිතයට අයත් බවත් වල් ඌරන්,මීමින්නන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා කවුරුන් හෝ විසින් යොදා තිබුණු අනවසර විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව තිබෙන බවත් පොලීසිය පවසයි.
රක්ෂිත ඉඩම තුළ අනවසර විදුලි රැහැන් යොදා සතුන් දඩයම් කිරීමට කටයුතු කළේ කවුද යන්න සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.