මධ්‍යම පළාතේ අධ්‍යාපන මගඩිය – මහනුවර වාර්තාකරු

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව මහනුවර ගුරුදෙණියේ සියලු පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානයක් තිබියදී අමතරව රජයේ මුදල් වැය කරමින් පළාතේ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් හන්තාන රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත් වීම සම්බන්ධයෙන් ලිඛිතව කරුණු විමසීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පියවර ගෙන තිබේ.
මෙම පුහුණු වැඩසටහන  (25) ආරම්භ වූ අතර ඒ සඳහා පළාතේ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු 40 දෙනෙකු සහභාගි වී ඇත. මෙම නේවාසික පුහුණු වැඩසටහන  (26) දිනයේත් පැවැත් වීමට සැළසුම් කර තිබේ.
මෙම සම්මන්ත්‍රණය අතරතුර මධ්‍යම පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරු අගයා ඔවුන්ට සමරු ඵලක ප්‍රදානයක් ද සිදුකර ඇත.
රජයේ වාහන සපයා ඇති නිලධාරීන් හැරුණු විට සෙසු පිරිස අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් බස් රථයෙන් හා වෑන් රථයෙන් හන්තාන රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

ගුරුදෙණිය පුහුණු මධ්‍යස්ථානයේ මෙම දිනවල නේවාසික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වන බැවින් අදාළ වැඩසටහන හන්තාන රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පළාත් අධ්‍යාපන බලධාරීන් තමන්ට දැනුම් දුන් බව මේ සම්බන්ධව කළ විමසීමකදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා කීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධ විශේෂ රැස්වීමක් මෙම මස 30 දින පැවැත් වෙන බවත් ඒ සඳහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අදහස් ලබා ගැනීම අරමුණු කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය පවත්වන බව දැන ගන්නට තිබෙන බවත් ඒ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *