උද්භිද උද්‍යාන පනත යාවත්කාලීන කිරීමට පියවර – මහනුවර වාර්තාකරු

උද්භිද උද්‍යාන පනත වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙන බව සංචාරක හා ඉඩම් අමත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.එම්. සන්නසූරිය මහත්මිය පවසයි.
වෙනස් කළ පනත සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන බවත් කී අතිරේක ලේකම්වරිය ඉදිරි සතියේදී එයට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අවධාරණය කළේය.

පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයට දෙසිය වසක් සපිරීම නිමිත්තෙන් පවත්වන ප්‍රදර්ශන මාලවට සමගාමීව ඊයේ (18) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වෙමින් සන්නසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
දැනට පවතින උද්භිද උද්‍යාන පනත ඉතාමත්ම පැරණි එකක් බවත් වර්තමානයේ පවතින අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධන ගෙන එමින් එය යාවත්කාලීන කළ යුතුව තිබූ බවද ඇය පැවසුවාය.

ඉදිරි වසර දෙක තුන තුළ අපේ රටට වැඩිම විදේශ විනිමය ගෙන එන ක්ෂේත්‍රය ලෙස සංචාරක අංශය හඳුනා ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍යය විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් රජය මගින් දැන් ආරම්භ කර තිබෙන බවත් ලේකම්වරිය කීවාය.
මෙම ක්‍රියාවලියේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් උද්භිද උද්‍යාන පනත යාවත්කාලීන කිරීම මගින් ඒ සඳහා දෙපාර්තමේන්තුවට පුළුල් අවකාශයක් විවර වන බවත් සන්සූරිය මහත්මිය පැවසුවාය.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය ද මෙහිදී කතා කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *