ජීවන බර හෑල්ලු කර ගන්න වැඩි වැඩියෙන් බර උස්සන නාට්ටාමිවරු

ඔවුන්ගේ ජීවිත ඇත්තෙන්ම කටුකය. ජීවන බර සැහැල්ලු කර ගන්නට නම් ඔවුන් වැඩි වැඩියෙන් බර එසවිය යුතුය.අලුයම හිරු නැගෙන්නට පෙර නිවසින් පිටව එන ඔවුන් යළි නිවසට පියමන් කරන්නේ සැදෑ අඳුර තුරුළුකර ගෙනය. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබීම නිසා මෙම වෘත්තියට පිවිසුනද අධ්‍යාපනයෙන් ඉහළ ඇතැමුන්ට වඩා මොවුන්ගේ සිත් මනුෂ්‍යකමෙන් පොහොසත්ය.ජාති,ආගම් භේද කිසිවක් ඔවුන් අතර නොමැත.මොන තරම් බර එසවූවත් හිතේ බරක් නොමැතිව සැහැල්ලුවෙන් සිටි ඔවුන්ට මහමෙර තරම් වූ ජීවන බර නම් උහුලා ගැනීමට නොහැකි වී තිබේ. ඒ වෙනදා මෙන් මුදලක් අතට ලබා ගැනීමට තරම් වැඩ නොමැති වීම නිසාය.

 

මොන බර දරා ගත්තත් ජීවන බර උහුලගන්න බැහැ…

ආර්ථික අර්බුදයක් සමඟ මතුවූ ඉන්ධන හිඟයත් පොහොර ගැටලුව නිසා සිදුවූ එළවළු හා පලතුරු නිෂ්පාදන ඵලදාව පහත වැටීමත් මොවුන්ගේ ආදායම් පහළ දමන්නට ඍජුවම බලපා තිබේ.කටුගස්තොට මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ නාටාමි වෘත්තියේ නරත බොහෝ දෙනෙක් අද සිටින්නේ මෙම ගැටලු වලට මැදිවය.

මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානය යනු දෛනිකව එළවළු හා පලතුරු තොග ලක්ෂ හයක් පමණ එක වන ස්ථානයකි. දඹුල්ල,නුවරඑළිය,හඟුරන්කෙත,නිල්දණ්ඩාහින්න,මතුරට,අධිකාරිගම,හැටන්,තලවාකැලේ ආදි ප්‍රදේශ ගණනාවකින් දිනපතා මෙම ස්ථානයට එළවළු හා පලතුරු රැගෙන පැමිණෙන ලොරි ගණන දහසකට ආසන්නය. තොග කඩ හැත්තෑ පහකින් පමණ සමන්විත මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සක්‍රීයව පවතින අවස්ථාවේ මහ පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට නාටාමි රැකියාවේ නියුක්ත පුද්ගලයා දක්වා දහස් ගණනක් ජීවිකාව ගෙනයාම පිණිස මුදල් ඉපැයීමේ කාර්යයේ නිරත වෙති. අලුයම හිරු උදාවන්නටත් පෙර ත්‍රිරෝද රථ වලින්ද ලොරි රථ වලින්ද එළවළු හා පලතුරු රැගෙන යන්නට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙම ස්ථානයට වෙළෙන්ඳෝ පැමිණෙති. දිනකට රුපියල් කෝටි ගණනක මුදලක් සංසරණය වන මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම මේවන විට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ. එයට හේතුවී ඇත්තේ එළවළු අස්වැන්න අඩුවීම  හා ඉන්ධන මිල ඉහළ යාම නිසා වෙනදා පැමිණෙන පිරිස එහි නොපැමිණීමය.

අස්වැන්න අඩුවීමත් ඉන්ධන මිල ඉහළ යාමත් නිසා වෙනදා එළවළු කිලෝ ලක්ෂ පහක් පමණ ලැබුණු ආර්ථික මධ්‍යස්ථානයට දැන් ලැබෙන්නේ කිලෝ ලක්ෂ තුනකටත් අඩු ප්‍රමාණයක් බ මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජිකයෝ පවසති.

ජීවන වියදම ඉහළ යත්දී  ආදායම පහතට…

මේ නිසාම ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රැකියා කරන බොහෝ පිරිසකගේ ආදායම් තත්ත්වය පහත වැටී ඇත.එක් පැත්තකින් දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහළ යත්දී අනෙක් පසින් අදායම් තත්ත්වය ද පහත වැටීම නිසා මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ රැකියා කරමින් ජීවිකාව ගෙන ගිය බොහෝ පිරිසක් අද ගෙවමින් සිටින්නේ දුෂ්කර ජීවිතයකි.ඒ අතරින් ප්‍රධාන වන්නේ නාටාමි වෘත්තියේ නිරත වූවන් ය. තැන්පත් මුදලක් නොමැතිව  දෛනිකව උපයන මුදලින් එදිනෙදා ජීවිතය ගෙනයන ඔවුන් පවතින ආර්ථික අර්බුදය හමුවේ පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටය.

 

 

ලොරි නාවොත් සාක්කුව හිස්…

ආර්ථික මධ්‍යස්ථානයේ නාටාමි වරයෙක් ලෙස  කටයුතු කරන ආර්.ජී අනුර මෙසේ ප්‍රකාශ කළේය.මම දැන් අවුරුදු 50 ක් විතර නාටාමි රැකියාව කරන්නේ.දරුවෝ පස් දෙනෙක් ඉන්නවා.ඉස්සර දවසේ ජීවත් වෙන්න පුළුවන් ගානක් මේ රැකියාවෙන් හොයා ගත්තා. දැන් එළවළු ලොරි එනවා අඩුයි. බඩු ගන්න වෙළෙන්ඳොත් එන්නේ නැහැ. වෙළෙන්ඳෝ ආවොත් තමයි අපිට වැඩ තියෙන්නේ. අපි බර උස්සලා ජීවත් වෙන මිනිස්සු.හොඳට කෑවොත් තමයි අඟේ හයියට වැඩක් කරන්න පුළුවන්.දැන් හම්බ වෙන ගානට වේල් තුන කන්න බැහැ. එක් වේලක් කාලා ඉන්න දවස් තියෙනවා.ඇත්තටම ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ.අපි නොකෑවත් දරුවන්ට කන්න දෙන්න ඕන.කිරි එකක් දැන් බොන්න බැහැ.ළමයින්ට සල්ලි දීලවත් කිරි එකක් ගන්න නැහැ.මෙච්චර ලස්සන රට මේ වගේ තැනකට පත්වෙච්ච එක ගැන ඇත්තටම තියෙන්නේ කණගාටුවක්.පාලකයෝ නින්දෙන් ඇහිරිලා වගේ එක පාරටම තීන්දු ගන්නවා.ඒවයින් අනෙක් අයට වෙන බලපෑම ගැන කවුරුවත් සැලකිලිමත් නැහැ…

එළවළු කෑලි 100 ක් ආපු ලොරියේ දැන් එන්නේ 40 යි…

මැණික්කුඹුර මාර්කට් එකේ නාටාමි රස්සාවෙන් ජීවත් වෙන පිරිස 60 කට වැඩිය. ඒ අතරින් කෙනෙකු වන කේ.ඒ ඉන්ද්‍රජී තමන් වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය මෙසේ විස්තර කළේය.වැඩ නැතුව දැන් හැමෝම ඉන්නේ අසරණ වෙලා.එළවළු කෑලි 100 ක් ආපු ලොරියේ දැන් එන්නේ කෑලි හතළිහයි පනහයි.ඉස්සර මහන්සි වෙලා වැඩ කරලා දවසකට රුපියල් තුන් හාරදාහක් හොයා ගත්තා.දැන් රුපියල් 1000 ක් හොයා ගන්න බැහැ.එළවළු ලොරි ආවොත් තමයි අපිට වැඩ තියෙන්නේ.දැන් ලොරි එන ගානත් අඩුයි ඒ ලොරිවල එන එළවළු කෑලි ගානත් අඩුයි. අද රුපියල් 1000 කින් මොනවද ගන්න පුළුවන්. පරිප්පු, සීනිහාල්,පිටි,පොල්තෙල්,සැමන්,කුකුළු මස් මේ හැමදේම ගණන් ගිහින්.

 

ගෝනි පිටින් ගෙනිච්චි වෙළෙන්දෝ දැන් ගෙනියන්නේ කිලෝ පහක් හයක්…

පී.ආර් බණ්ඩාර මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි..වෙනදා එළවළු ගෝනි පිටින් අරගෙන යන වෙළෙන්ඳෝ දැන් ගෙනියන්නේ කිලෝ පහක් හයක්.ඒක එයාම උස්සලා වීල් එකට දාගන්නවා.අපිට කීයක් හරි දෙන එකත් වෙළෙන්ඳාට පාඩුවක්.මිනිස්සු දැන් කනවා බොනවා අඩුයි.මොකද දවසේ වැඩි හරියක් හැමෝම ඉන්නේ පෝලිම් වල.අපි කාටවත් අත නොපා අපේ හයියෙන් ජීවත් වුණේ. දැන් අපිට ජීවත් වෙන්න අමාරුයි.ආණ්ඩුව අපි ගැන බලන්න ඕන.මොනවා හරි සහනයක් දෙනවා නම් හොඳයි. රට මේ තත්ත්වයට පත්වුණේ අපේ වරදින් නෙවෙයි. එහෙනම් ඇයි අපි දුක් විඳින්නේ. ඒ නිසා ඉතා ඉක්මනින් මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕන. දැන් කුකුළු මස් කෑල්ලක් කන්න සාමාන්‍යය කෙනෙක්ට පුළුවන්ද?.බිත්තරයක් රුපියල් 50 යි. හවසට හොයා ගන්න ගාන පොඩි එවුන්ට කන්න මොනවා හරි අරන් යන්නත් මදි.

 

ඉස්සර බත් එකක් කාපු ගානට දැන් බනිස් එකක් කාලා තේ එකක් බොන්න බැහැ…

අමිත් බණ්ඩාර මෙසේ ප්‍රකාශ කළේය. හැම ප්‍රශ්නයක්ම අපි වගේ දුප්පත් මිනිස්සුන්ට තමයි. කොච්චර බඩු මිල වැඩි වුණත් මැති ඇමැතිවරුන්ට ගානක් නැහැ. දැන් ඇත්තටම රෑට නිදා ගන්න බයයි. මොකද උදේ එළිවෙනකොට තෙල් නැත්නම් මොනවා හරි වැඩි කරලා. මහන්සි වෙලා වැඩ කරලා කඩේකට ගිහින් තේ එකක් බීලා බනිස් එකක් අද කන්න බැහැ.ඒකට රුපියල් 150 ක් විතර යනවා. ඉස්සර බත් එකක් කාපු ගාන දැන් තේ එකක් බීලා බනිස් එකක් කන්න යනවා. අඳුරන කෙනෙක් ආවොත් තේ එක්ක අරන් දෙන්න බැහැ.මොකද ඒ වියදම අපිට දරාගන්න බැහැ.

 

 

දරුවන්ට කන්න දීම ලොකු අභියෝගයක්…

මාවතගම පදිංචි රෝහිත චන්දනලාල් මෙසේ ප්‍රකාශ කළේය.. මම මාර්කට් එකෙන් එළවළු අරගෙන ගිහින් වෙනම මලු වලට දානවා. එක මල්ලකට එළවළු අටක් දාපු මල්ලක් මම රුපියල් 500 කට ගෙදරටම ගිහින් දෙනවා. මගේ දරු පවුල් නඩත්තු කරන්නේ මම මේ වෙළෙඳාමෙන්. අද මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. මම සුළු ලාභයක් තියාගෙන රුපියල් 500 ට මේ එළවළු මල්ල දෙන්නේ. දැන් එන්න එන්නම එළවළු මිල වැඩි වෙනවා. වෙනදා එන තරම් මාර්කට් එකට එළවළු තොග එන්නේ නැහැ.එතකොට මිල ඉස්සෙනවා. එහෙම වෙත්දී එළවළු වර්ග අටක් රුපියල් 500 ට දෙන්නේ කොහොමද?. මගෙන් එළවළු ගන්න පුරුදු වුණු පිරිසක් ඉන්නවා. ඒ අය රුපියල් 500 ට මගෙන් එළවළු මල්ල ගන්න පුරුදු වෙලා ඉන්නේ. දැන් ඒ ගානට දෙන්න අමාරුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed