ජි.එල් පොහොට්ටුවට අභියෝග කරයි -මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් තමන් ඇතුළු පිරිස හැකි නම් ඉවත්කර පෙන්වන ලෙස අභියෝග කරන බව එම පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
පක්ෂයේ දර්ශනය,ප්‍රතිපත්ති හා අන්‍යන්‍යතාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින්නේ තමන් ඇතුළු කණ්ඩායම බවද ඒ මහතා කීය.
මන්ත්‍රීවරයා ඇතුළු නිදහස මන්ත්‍රී කණ්ඩායමේ සමාජිකයින් අද (09) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් අවංකව කැපවී සිටින තමන් ඇතුළු පිරිසට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගැනීමට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවන බවද හෙතෙම අවධාරණය කළේය.
නියම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයින් වන්නේ පසුගිය ජනපතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතාව ලබාදුන් වරම විකෘති කරමින් එජාපය හා එක්ව ආණ්ඩු කරන අයද නැත්නම් තමන් ඇතුළු කණ්ඩායමද යන්න ජනතාව හොඳින් තේරුම් ගෙන සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.
ලෝක ආහාර සංවිධානය ප්‍රකාශ කර තිබෙන පරිදි මේවන විට අපේ රටේ සෑම පවුල් හතරකින් තුනක්ම දවසේ කෑම වේල් තුනෙන් දෙකක් පිරිමසා ගන්නේ ඉතා අසීරුවෙන් යැයිද එවැනි පසුබිමක් රටේ තිබියදී රාජ්‍ය ඇමැතිවරු 37 ක් පත් කිරීම තුළින් පෙනී යන්නේ මෙම ආණ්ඩුවට ජනතාව පිළිබඳ අවංක හැඟීමක් නොමැති බව යැයිද ඒ මහතා කීය.
මේ මොහොතේ වැදගත් වන්නේ මන්ත්‍රීවරු,රාජ්‍ය ඇමැතිවරු හා ඇමැතිවරු නඩත්තු කිරීම නොව රට සතු සීමිත සම්පත් වලින් ජනතාවට සහන සැලසීම බවත් ජනතාව මත බර පටවන ඇමැති ධූර තම කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කළ බවත් මහචාර්යවරයා පැවසුවේය.
මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය එළඹෙන සඳුදා ආරම්භ වන බවත් එහිදී අපට තක්සේරු කළ නොහැකි ආකාරයේ පාඩු ගණනාවක් අත්විඳින්නට සිදුවන බව ස්ථිර බවත් හෙතෙම කීය.
තමන් විදේශ කටයුතු ඇමැති ධූරය හෙබවූ සමයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන තෙක් එය ක්‍රියාත්මක නොකරන බවට මානව හිමිකම් කවුන්සිලයට පැහැදිලි ප්‍රතිඥ්ඥාවක් ලබාදුන් බවත් එම සියලු පොරොන්දු මේවන විට වත්මන් පාලකයින් කඩකර තිබෙන බවත් ඒ මහතා කීවේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නොමැති පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධව ජත්‍යන්තරයේ අවධානය මේවන විට අප රට කෙරහි එල්ල වී තිබෙන බවත් මේ නිසා මානව හිමිකම් කවුන්සිලයේදී අයහපත් ලෙස බලපෑ හැකි තීන්දු ගණනාවක් ගැනීමට ඔවුන් කටයුතු කරනු නිසැක බවත් හෙතෙම පැවසුවේය.