ගැඹුරු පීඩන අවපාතය ‘අක්වාන්’ සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි : බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද වැසි වාර කිහිපයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ‘අක්වාන්’ (Akvan) ලෙස නම්කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) උදෑසන නිකුත් කළ නිවේදනයට අනුව, මෙම සුළි කුණාටුව ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතුණා.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද පස්වරු 5.30 පමණ වන විට දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම නොවැම්බර් 19 වැනිදා වන විට එය ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බවද අනාවැකි පළ කර තිබෙනවා.

ඒ අනුව, නොවැම්බර් 20 වැනිදා දහවල් 11.30 පමණ වන විට මෙම සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් ගොඩබිමට ඇතුළු වීමට ඉඩ ඇති බව සඳහන්.

මේ අතර, අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති අතර, බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed