බීඩි කොළ කිලෝ 1,597ක් සමඟ හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට – ප්‍රසාද් පුර්ණමාල්

 

බීඩි කොළ කිලෝග්‍රෑම් 1,597යි ග්‍රෑම් 200ක තොගයක් සමඟ හිටපු නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තොඩුවාව පොලිසිය
විසින් පෙරේදා 12 රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තොඩුවාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම බීඩි කොළ තොගය ලොරියකට පටවමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට
ගෙන ඇති අතර, බීඩි කොළ ප්‍රවාහනයට යොදාගත් ලොරියක් සහ බෝට්ටුවක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවට ආසන්න මුහුදු සීමාවේ සිට බීඩි කොළ රැගෙනවිත් මෙරටට ගොඩබෑමේ ජාවාරමක් මෙම පිරිස විසින් සිදුකර
ඇති බවයි.

මෙම ජාවාරමට කල්පිටිය ප්‍රදේශයේ බෝට්ටු හිමිකරුවෙකුද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර, බෝට්ටු නියමුවෙකුට රුපියල් ලක්ෂයක මුදලක්ද සහායකයෙකුට
රුපියල් පනස්දහසක මුදලක්ද ලබාදෙන බවට අනාවරණය වී තිබේ.

මෙලෙස රැගෙන එන බීඩි කොළ වැඩි වශයෙන් මීගමුව ප්‍රදේශයට ප්‍රවාහනය කරන බවටද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා අවසන් කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධව දේශපාලනයේ නිරතව සිට ඇති බව වාර්තා වේ.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ නියෝග මත, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීමෙන්
තොඩුවාව පොලිස් ස්ථානාධිපති එරන්ජන් දසනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *