බෙංගාල බොක්ක යළි කැළඹෙයි – ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 11 වැනිදා වන විට යළි කැළඹිලි ස්වභාවයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම පද්ධතිය 13 වැනිදා පමණ වන විට අඩුපීඩන තත්ත්වයක් බවට වර්ධන වීමේ හැකියාවක් පවතින බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 110යි දශම 8 ක් වන වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී තිබු අතර, මහනුවර ජාතික රෝහලේ අංශ කිහිපයක් ද ජලයෙන් යටවුණා.

කෙසේ වෙතත් මේ වනවිට ජලය බැස ගොස් ඇති අතර මේ වනවිට රෝහල පිරිසිඳු කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. එසේම ඊයේ පස්වරුවේ ඇති වූ වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය ද ජලයෙන් යටවුණා.

මේ අතර පසුගිය 6 වැනිදා පස්වරුවේ කොළඹ නගරයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ග රැසක් පැය කිහිපයක් තුළ ජලයෙන් යටවු අතර, කොළඹ ජාතික රෝහල , බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන රැසක් ද ජලයෙන් යටවී තිබුණා.

ඒ අනුව කොළඹ නගරයේ ජලය නොබසින ඇල මාර්ග කිහිපයක් කඩිනමින් පිරිසිදු කරමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම කොළඹ, හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

වර්ෂාපතනයත් සමඟ නිල්වලා, ගිං, කළු සහ කැළණි යන ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම දැදුරු ඔය, වලවේ, උඩවලව සහ කලා ඔයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ.

මේ අතර පැවති වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් ඇතිවිය හැකි ක්ෂණික වර්ෂාපතනයන් සම්බන්ධයෙන් කඳුකර සහ නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව වඩාත් අවදානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර කියා සිටියේ.

මේ අතර දෙනියාය, බෙවරලිය ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගොස් අතුරුදන්වූ දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා ඊයේ එම ප්‍රදේශයට ගොස් තිබු අතර, පවතින අධික වර්ෂාවත් සමඟ සැඩ පහරකට හසුවූ සිව් දෙනෙකු මෙලෙස අතුරුදන්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *