බෝ නොවන රෝග ගැන දැනුවත් කිරීමේ වැඩසටහන – වසන්ත රෝහණ සමරවර්ධන

දිනකට රුපියල් කෝටි 125ක් මත්පැන් හා සිගරට් සඳහා මුදල් වැය කරද්දී, පුද්ගලයන් 111 දෙනෙක් අකාලයේ මිය යනවා.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම සෞඛ්‍ය අභියෝගය වන්නේ බෝ නොවන රෝගයි. මෙරට සිදුවන මරණ 100කින් 83ක්ම බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව වාර්තා වෙනවා. බෝ නොවන රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක හතර අතර දුම්කොළ හා මද්‍යසාර භාවිතය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව මධ්‍යයසාර හා මත් ද්‍රව්‍යය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩ සටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න මහතා පවසයි .ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ කෑගල්ල දිස්‍ත්‍රික් මාධ්‍යයවේදීන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.වැඩ සටහන කෑගල්ල දිස්ත්‍රික් රතු කුරුස මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දි (6) පැවැත්විනි.

එහි දී අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශය කලේය.

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 52 දෙදෙනෙකු පමණ අකාලයේ මිය යන අතර, මද්‍යසාර භාවිතය හේතුවෙන් තවත් පුද්ගලයන් 56 දෙනෙක් පමණ මිය යනවා. ඒ වගේම දුම්කොළ සැපීම හේතුවෙන් දිනකට පුද්ගලයන් තිදෙන‍ක පමණ මිය යනවා. දුම්කොළ හා මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 111කට ආසන්න පිරිසකට අකාලයේ ජීවිත අහිමි වෙනවා.

මෙහි තවත් පැත්තක් වන්නේ මෙම නිෂ්පාදන පරිභෝජනය සඳහා රටේ ජනතාව දිනකට වැය කරන අතිවිශාල මුදලයි. අරක්කු, බියර් සහ සිගරට් සඳහා පමණක් දිනකට රුපියල් කෝටි 125ක පමණ මුදලක් වැය වීමයි. එක් පැත්තකින් ජනතාවගේ මුදල් විශාල වශයෙන් මෙම නිෂ්පාදන සඳහා වැය වන අතර, අනෙක් පැත්තෙන් ඒවා නිසා ඇතිවන රෝගාබාධ සහ අකාලයේ සිදුවන මරණ හේතුවෙන් රටට විශාල සමාජීය හා ආර්ථික පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.

දුම්කොළ හා මද්‍යසාර කර්මාන්තවලින් රජයට බදු ආදායමක් ලැබුණත්, එම ආදායම ඒවා භාවිතය නිසා රටට දැරීමට සිදුවන සමස්ත ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් නෑ. උදාහරණයක් ලෙස 2025 වර්ෂයේ මද්‍යසාර බදු ආදායම රුපියල් බිලියන 254ක් වූ අතර, එම වර්ෂයේ මද්‍යසාර භාවිතය හේතුවෙන් රටට දැරීමට සිදු වූ ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 335ක් පමණ වුනා. ඒ අනුව රුපියල් බිලියන 81ක පමණ අමතර පිරිවැයක් රටට දැරීමට සිදුව තිබුනා. මෙම පිරිවැය අවසානයේ දැරීමට සිදුවන්නේ රජයට සහ සමස්ත මහජනතාවටයි.

දුම්කොළ සම්බන්ධයෙන් ද තත්ත්වය මීට වෙනස් වන්නේ නෑ. 2019 වර්ෂයේ සිගරට් බදු ආදායම රුපියල් බිලියන 93ක් වූ අතර, සිගරට් භාවිතය හේතුවෙන් රටට දැරීමට සිදු වූ ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 214ක් පමණ වෙනවා. ඒ අනුව රුපියල් බිලියන 121ක අමතර පාඩුවක් රටට සිදුව තිබෙනවා.

මෙම සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වන්නේ දුම්කොළ හා මද්‍යසාර කර්මාන්තවලින් ලැබෙන බදු ආදායම පමණක් සලකා ඒවා රටට ආර්ථික වාසියක් ගෙන දෙන කර්මාන්ත ලෙස සැලකිය නොහැකි බවයි. ඒවායින් ඇතිවන සෞඛ්‍ය, සමාජීය හා ආර්ථික හානිය ද සැලකිල්ලට ගත යුතුයි. එම නිසා දුම්කොළ හා මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ඒ සඳහා රජයට ගත හැකි වඩාත් ඵලදායී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් වන්නේ දුම්කොළ හා මද්‍යසාර නිෂ්පාදන මත පනවන බදු ඉහළ නැංවීම. බදු වැඩි කිරීම මගින් මෙම නිෂ්පාදනවල මිල ඉහළ යන අතර, ඒවා මිලදී ගැනීමේ හැකියාව සීමා වීම තුළින් පරිභෝජනය අවම කිරීමට පුලුවන්. එමගින් දුම්කොළ හා මද්‍යසාර භාවිතය ආශ්‍රිත රෝගාබාධ සහ අකාලයේ සිදුවන මරණ ද අඩු කර ගැනීමට ද පුලුවන්.

රජය බදු වැඩි කිරීමේදී, එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව අඩු කරමින් ඒවායේ පරිභෝජනය අවම කිරීම. ඒ සඳහා උද්ධමනයට හා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාවට සාපේක්ෂව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නිරන්තරයෙන් බදු සංශෝධනය කළ යුතුයි. එසේ නොකළහොත් උද්ධමනය සහ ජනතාවගේ ආදායම් වර්ධනය හමුවේ මෙම නිෂ්පාදනවල සැබෑ මිල අඩු වන අතර, නැවතත් දුම්කොළ හා මද්‍යසාර කර්මාන්තවල ලාභය ආරක්ෂා වන තත්ත්වයක් ඇති වෙනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනය කිරීමේදී වැටලීම් සිදු කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුමක් නොවෙනවා. පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමට පෙර එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන බොහෝ පුද්ගලයන්ගේ ආරම්භක භාවිතය දුම්වැටි හෝ මද්‍යසර . එම නිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ ප්‍රයත්නය තුළ දුම්කොළ හා මද්‍යසාර භාවිතය වැළැක්වීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

මේ සඳහා එකිනෙකට සම්බන්ධ වූ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික මැදිහත්වීම් රැසක් අවශ්‍ය වෙනවා දුම්කොළ හා මද්‍යසාර බදු වැඩි කිරීම, ඒවායේ ප්‍රවර්ධනය, ප්‍රචාරණය හා අනුග්‍රාහකත්වය සම්පූර්ණයෙන් තහනම් කිරීම, නව මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම නැවැත්වීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව වැටලීම් ශක්තිමත් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම සහ දැනට භාවිතයට යොමු වී සිටින පුද්ගලයන්ට ඉන් මිදීම සඳහා අවශ්‍ය සහාය හා ප්‍රතිකාර ලබාදීම ඒ අතර ප්‍රධාන කරුණුයි.

එමෙන්ම පාසල්, පවුල් සහ ප්‍රජා මට්ටමින් අඛණ්ඩ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු අතර මෙය එක් දිනක දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සීමා නොවී, පුද්ගලයන්ගේ හැසිරීම් වෙනස් කිරීමටත්, සමාජීය පරිසරය වෙනස් කිරීමටත් දායක වන දිගුකාලීන ක්‍රියාවලියක් විය යුතු බව ද ඒ මහතා පැවැසීය.

මධ්‍යයසාර සහ මත් ද්‍රව්‍යය තොරතුරු මධ්‍යස්ථානය විසින් වැඩ සටහන සංවිධානය කර තිබුනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *