නොරොච්චෝලේ ජනක යන්ත්රයක් යළි පද්ධතියට එක් කරන තෙක් විදුලි සැපයුම කළමනාකරණයට පියවර
නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්රයක් යළි විදුලි පද්ධතියට එක් කරන තෙක් දිවයින පුරා දින තුනක් පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ඊයේ (19) සිට අද (20) සහ හෙට (21) දක්වා දිවයිනේ සියලු ප්රදේශ කාණ්ඩ හතරකට බෙදා පස්වරු 4.30 සිට රාත්රී 9.00 දක්වා කාලය තුළ එක් එක් කාණ්ඩයට පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා මේ බව පැවසීය.
අද (20) දිනයේදී 4 වන කාණ්ඩයට පස්වරු 4.30ත් 5.30ත් අතරද, 1 වන කාණ්ඩයට පස්වරු 5.30ත් 6.30ත් අතරද, 2 වන කාණ්ඩයට පස්වරු 6.30ත් 7.30ත් අතරද, 3 වන කාණ්ඩයට රාත්රී 7.30ත් 8.30ත් අතරද විදුලි කප්පාදුව සිදු කෙරේ. හෙට (21) දිනයේදී 3 වන කාණ්ඩයට පස්වරු 4.30ත් 5.30ත් අතරද, 4 වන කාණ්ඩයට පස්වරු 5.30ත් 6.30ත් අතරද, 1 වන කාණ්ඩයට පස්වරු 6.30ත් 7.30ත් අතරද, 2 වන කාණ්ඩයට රාත්රී 7.30ත් 8.30ත් අතරද විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
පසුගිය 17 වැනිදා දිවයිනටම බලපාන පරිදි සිදු වූ විදුලි පද්ධතියේ පූර්ණ බිඳවැටීම සහ නොරොච්චෝලේ ජනක යන්ත්රයක ධාරිතාව අහිමි වීම හේතුවෙන් මෙම විදුලි කළමනාකරණ වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට සිදුවූ බවද ඒ මහතා පැවසීය.
විදුලි පද්ධතිය බිඳවැටීමට පෙර නොරොච්චෝලේ ජනක යන්ත්ර අංක 1 මඟින් මෙගාවොට් 187ක ධාරිතාවක් ලබා දෙමින් තිබූ අතර, එය ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5 දක්වා අඩුවීම පද්ධතියේ සංඛ්යාතය පහළ යාමට හේතු වී තිබේ. ඒ අනුව, තත්පර 18ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතියම බිඳවැටී ඇති බව ඔහු සඳහන් කළේය.
දැනට පද්ධතියේ පවතින විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 2,500ත් 2,600ත් අතර වන අතර, රාත්රී කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2,800ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. නොරොච්චෝලේ ජනක යන්ත්රයක් ලබන 22 වැනිදා වන විට යළි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බැවින් එතෙක් මෙම විදුලි කළමනාකරණ වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවද බුද්ධික සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්ය හමුවට විදුලිබල ක්ෂේත්රයේ ආයතන කිහිපයක ප්රධානීහු සහ නිලධාරීහු ද එක්ව සිටියහ.
END/GONP/MMP/20102026
