දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹීමක්: පළාත් 6 කට තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් අද (20) සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම, උතුරු, උතුරු මැද, මධ්යම, නැගෙනහිර, වයඹ සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත්, මීට අමතරව උතුරු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
තවද, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
