නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු ඊයේ (19) දකුණු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්යාපෘති නිරීක්ෂණය කර, ජාතික ආරක්ෂාව හා ජාතික සංවර්ධනය වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යභාරය හා මෙහෙයුම් අභිප්රාය පිළිබඳව නිලධාරීන් සහ නාවිකයන් වෙත අවශ්ය උපදෙස් ලබා දී තිබේ.
දකුණු නාවික විධාන නිරීක්ෂණ චාරිකාව ආරම්භ කරමින්, ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අනියුක්ත කිරිදිඔය නාවික අනුඛණ්ඩයේ ස්ථාපිත කෘෂිකාර්මික ව්යාපෘතිය, ‘සිත් සවිය’ වැඩිදුර ප්රතිකාර මධ්යස්ථානය සහ නාවික නිවාඩු මධ්යස්ථානය නිරීක්ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති, එම ස්ථාන මගින් සිදු කෙරෙන පරිපාලන හා සුබසාධන කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා උපදෙස් දී ඇත . අනතුරුව, අමදූව නාවික උප අනුඛණ්ඩයේ ස්ථාපිත රේඩාර් මධ්යස්ථානය මඟින් සිදුකෙරෙන ආවේක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ නාවික හමුදාධිපති, අනුඛණ්ඩයේ අලුතින් ස්ථාපනය කළ සූර්ය විදුලිබල පද්ධතිය විවෘත කරනු ලැබීය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදි, කිරින්ද මාලිමා කිමිදුම් මධ්යස්ථානය නිරීක්ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති, ප්රදේශයේ කිමිදුම් සංචාරක ප්රවර්ධනය වෙනුවෙන් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවෙන පරිදි එම මධ්යස්ථානයේ වැඩසටහන් නව මුහුණුවරකින් සංවිධානය කිරීමට අවශ්ය උපදෙස් ලබා දී තිබේ.
මෙම චාරිකාවේදී නාවික හමුදාධිපති හම්බන්තොට, ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ ස්ථාපනය කෙරෙණ සූර්ය විදුලිබල පද්ධතියේ සහ වාහන නැංවීමේ හා බැස්සවීමේ මධ්යස්ථානයේ ප්රගතිය නිරීක්ෂණය කළ අතර . අනතුරුව, සමුද්රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ උප මධ්යස්ථානයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර, එම මෙහෙයුම් කටයුතු උසස් අන්දමින් සිදුකිරීම සඳහා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම, තංගල්ල, ශ්රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාව සඳහා එක්වූ නාවික හමුදාධිපති, එම ආයතනය මගින් සිදුකෙරෙන මෙහෙයුම්, පරිපාලන, සුබසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරනු ලැබීය. එහිදී, නාවික නිවාඩු මධ්යස්ථානය සහ සේවා වනිතා වෙළඳසැල් සංකීර්ණය මගින් නාවික හමුදා පුද්ගලයන් වෙත ලබාදෙනු ලබන සුබසාධන පහසුකම් සහ තංගල්ල ධීවර වරාය ආශ්රිතව නාවික හමුදාව මගින් සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළ හෙතෙම , නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් තංගල්ල බන්ධනාගාරයේ සිදුකෙරෙන අලුත්වැඩියා හා සංවර්ධන කටයුතු නිරීක්ෂණය කර ඇත.
අනතුරුව, නාවික හමුදාධිපති ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය යටතේ ක්රියාත්මක වන වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් වෙත පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team – OBST) වෙනුවෙන්, එම සමාගම් සතු අවි හා උපාංග ගබඩා කරනු ලබන, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය නිරීක්ෂණය සඳහා සහභාගි වී තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා දකුණු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්රධානීන් සහ අණදෙන නිලධාරීන් ඇතුලු නිලධාරින් පිරිසක් එක් විය.
END/GONP/MMP/20102026
