ලංකා සතොස ශක්තිමත් කිරීමට නව සේවකයින් 47කට පත්වීම්

ලංකා සතොස සමාගමේ මානව සම්පත් පදනම ශක්තිමත් කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නව සේවකයින් 47 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඔක්තෝබර් 14 වැනිදා ලංකා සතොස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආර්. එම්. ජයවර්ධන සහ උපාලි සමරසිංහ යන මහත්වරුන්, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ ලංකා සතොස සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

සාප්පු කාර්යභාර නිලධාරී, ගිණුම් සහකාර, තොරතුරු තාක්ෂණ සහකාර, කළමනාකරණ සහකාර සහ ගබඩා සහකාර යන තනතුරු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කර තිබේ. ඒ තුළින් ආයතනයේ පරිපාලන, මූල්‍ය, තොරතුරු තාක්ෂණ සහ සිල්ලර වෙළෙඳ ජාලයේ මෙහෙයුම් කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

දිවයින පුරා පාරිභෝගික ජනතාවට ගුණාත්මක අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ සහ දැරිය හැකි මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීමේ ලංකා සතොස ජාතික මෙහෙවර වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට මෙම නව බඳවා ගැනීම් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

END/GONP/MMP/15102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *