අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අධිකරණය ගත් තීරණය ජනාධිපතිවරයා අගය කරයි!

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සාදරයෙන් පිළිගෙන තිබේ.

මෙම තීරණය මගින් අනෝජන්ටත්, ඔහුගේ පවුලේ අයටත්, එමෙන්ම මෙම නඩුව පිළිබඳව දැඩි අවධානයකින් පසුවූ ශ්‍රී ලාංකිකයන්ටත් මහත් සහනයක් ලැබී ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

‘X’ (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ ජනාධිපතිවරයා පළ කළ අදහස්වල සම්පූර්ණ සටහන පහත දැක්වේ:

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මම සාදරයෙන් පිළිගනිමි.

මෙම තීරණය අනෝජන්ටත්, ඔහුගේ පවුලේ අයටත්, එමෙන්ම ඔහුගේ නඩුව පිළිබඳව දැඩි අවධානයකින් පසුවූ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් මහත් සහනයක් ගෙන දෙයි. මෙය ඉවසීමෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක වටිනාකම, මිත්‍රශීලී රටක නීතිමය ක්‍රියාවලීන් කෙරෙහි දක්වන ගෞරවය සහ විදේශයක සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් පෙනී සිටි පිරිස් දැරූ නොසැලෙන උත්සාහය මැනවින් පෙන්නුම් කරයි.

මෙම ප්‍රතිඵලය උදෙසා සෞදි අරාබි රජයට මගේ අවංක කෘතඥතාව පළ කරමි. එමෙන්ම, මේ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සෞදි අරාබි සහ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට, රාජ්‍ය සේවකයන්ට සහ නීති කණ්ඩායම්වලට ද මම ස්තූතිවන්ත වෙමි.

ඉදිරි නීතිමය ක්‍රියාවලීන් අවසන් වන තුරු අනෝජන්ට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහාය ලබා දීමට මගේ රජය කටයුතු කරනු ඇත. ජීවනෝපායක් සොයා මෙරටින් පිටත්ව යන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තමන් තනි වී ඇතැයි කිසිවිටෙකත් නොසිතිය යුතුය.

END/MMP/15102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *