යක්කලමුල්ල බද්දේගම උඩුගම කේන්ද්‍රකරගනිමින් නව සංචාරක කලාපයක් – දමිත් සඳනුවන් කීර්ති
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව මානයකට ගෙන යමින් එහි අභිවෘද්ධිය හා ප්‍රවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (13) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතාගේ සංකල්පයක් අනුව යෝජනා කර ඇති මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු, ඒවාට විසඳුම් ලබාගැනීමේ ක්‍රමවේද සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, කොට්ටව තේ පර්යේෂණ ආයතනය කේන්ද්‍ර කරගත් තේ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය, කුඹුක් සෙවණ කේන්ද්‍ර කරගත් ඡායාරූපකරණ හා සංචාරක එළිමහන් විවාහ උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය, උඩුගම FLYING CLOUD දීර්ඝතම සිප්ලයින් සංවර්ධන ව්‍යාපෘතිය සහ කිරින්දලාහේන වැව ආශ්‍රිත බහුකාර්ය හා පරිසර සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශවල ජනතාවට සැලසෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ, ප්‍රදේශවලට සහ පරිසරයට ඇතිවිය හැකි බලපෑම්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමේ ක්‍රමවේද ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, පරිසර සංචාරක කර්මාන්තය (Eco Tourism) ප්‍රවර්ධනය කිරීම, දකුණු පළාතට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නවමු සංචාරක අත්දැකීම් ලබාදීම සහ ඒ තුළින් ප්‍රදේශීය ජනතාවට ආර්ථික ප්‍රතිලාභ උදාකරදීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, අදාළ ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්, අදාළ ආයතන සහ ප්‍රදේශීය ජනතාව අතර මනා සම්බන්ධීකරණයක් හා සහයෝගීතාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘති විධිමත් සැලසුම්කරණයකින් හා පාරිසරික සංරක්ෂණය පිළිබඳ අවධානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය ඉහළ නංවා, ප්‍රදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ජනතාවට නව ආදායම් මාර්ග උදාකරදීමටත් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්) එම්.කේ.ජී.එස්.පී.කේ. ජයසේකර මහතා, දකුණු පළාත් සංචාරක අධිකාරියේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා ඇතුළු අදාළ ව්‍යාපෘතිවලට සම්බන්ධ වගකිවයුතු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
