තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 05ක් ජනතා අයිතියට

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවාස පහක් ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරිණි.

අඩු ආදායම්ලාභී පවුල්වලට තමන්ගේම සුරක්ෂිත හා අංගසම්පූර්ණ නිවසක හිමිකම ලබාදීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකර තිබේ.

මෙම වැඩසටහන යටතේ මේ වසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 250ක ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභී පවුල් වෙත භාරදීමට නියමිතය. එමෙන්ම, ඔක්තෝබර් 05 වැනිදාට යෙදුණු ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස 5,000ක් ජනතා අයිතියට පත්කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 100කට ආසන්න සංඛ්‍යාවක් ද ජනතා අයිතියට පත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, ලබන වසරේ අයවැය මඟින් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය. බුදු සසුනට දරුවන් දායාද කළ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ වැඩසටහනක් ද රජය ආරම්භ කර ඇති බව පැවසූ ඒ මහතා, වර්තමානයට ගැළපෙන පරිදි නීති සංශෝධනය කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

END/GONP/MMP/12102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *