මැද්දෙකන්දට පිරිසිදු පානීය ජලය උදා කළ ආදර්ශමත් ප්‍රජා වැඩ ව්‍යාපෘතියක් –
“ජලය යනු ජීවිතයයි.” එහෙත් පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිව පීඩා විඳින ජනතාවක් පිළිබඳ තොරතුරු අදටත් සමාජයෙන් අසන්නට ලැබේ. බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දෙකන්ද ග්‍රාම නිලධාරී වසමේ ජනතාව ද වසර ගණනාවක් පුරා මුහුණ දුන්නේ එවැනිම පානීය ජල ගැටලුවකටය.
ප්‍රදේශයේ ජල ගුණාත්මකභාවය පිළිබඳව සිදු කළ පරීක්ෂණවලදී එය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීම සඳහා සුදුසු මැදිහත්වීමක් අවශ්‍ය විය. මෙම අවශ්‍යතාව හඳුනා ගනිමින් ඊට තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ (ගෞරව) උපාධි පාඨමාලාවේ සිව්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සමාජ වැඩකරු ඩබ්. ජී. කේ. තිලකරත්න විසින් ඇයගේ ප්‍රජා වැඩ ව්‍යාපෘතිය ලෙස මෙම ප්‍රජා මැදිහත්වීම සංවිධානය කරන ලදී.
ප්‍රජාවේ අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රජා සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීම සහ අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කිරීම තුළින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කරන ලදී. ඒ අනුව
මැද්දෙකන්ද සේවාශ්‍රම ප්‍රජා ජල සමිතිය, රාජ්‍ය ආයතන සහ ප්‍රදේශවාසී ජනතාව එකම අරමුණක් යටතේ එක්රැස් කරමින් ප්‍රජා සහභාගීත්වයෙන් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි විය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් ලෙස මැද්දෙකන්ද සේවාශ්‍රම ප්‍රජා ජල සමිතිය සමඟ එක්ව ජල පිරිපහදු ඒකකයක් ස්ථාපනය කිරීමේ කටයුතු සිදු කරන ලදී.
මෙම කාර්යයේදී ප්‍රජා ජල සමිතියේ සභාපති ඒ. කේ. රෝහණ ජගත් මහතාගේ නායකත්වය, කැපවීම සහ සක්‍රීය දායකත්වය විශේෂයෙන් කැපී පෙනුණු අතර, සමිතියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මහත් ශක්තියක් විය.
තවද, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව සමඟ සිදු කළ සාර්ථක සම්බන්ධීකරණය හරහා ජල මනු 120ක් සමිතිය වෙත ලබා ගැනීමට හැකි විය. මේ තුළින් ජල බෙදාහැරීම සහ භාවිතය වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් වූ අතර, ප්‍රදේශයේ පවුල් රැසකට සුරක්ෂිත පානීය ජල සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව වැඩිදියුණු විය.
මෙම ප්‍රජා වැඩ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩ මඟපෙන්වීම සහ සහයෝගය ලබාදුන් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පීඨ අධීක්ෂක කථිකාචාර්ය කාංචනා අධිකාරි මහත්මිය, ක්ෂේත්‍ර අධීක්ෂක මානසික සමාජ වැඩකරු අමිල අධිකාරම් මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ කථිකාචාර්ය මණ්ඩලය, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී ජී. තුෂාර ප්‍රියදර්ශන මහතා, මැද්දෙකන්ද හිටපු ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරිනී චන්ද්‍රිකා මාලනී මහත්මිය, අනෙකුත් සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්, මැද්දෙකන්ද සේවාශ්‍රම ප්‍රජා ජල සමිතියේ සභාපති ඒ. කේ. රෝහණ ජගත් මහතා ඇතුළු සමිතියේ සියලු නිලධාරීන්ටත්, කැපවීමෙන් දායක වූ ප්‍රදේශවාසී සියලු දෙනාටත් විශේෂ ස්තූතිය හිමිවේ.
වසර ගණනාවක් පුරා පැවති පානීය ජල ගැටලුවකට ප්‍රජා සහභාගීත්වය මත පදනම් වූ තිරසාර විසඳුමක් ලබාදීමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ විශිෂ්ටතම ජයග්‍රහණයයි. සමාජ වැඩකරුවෙකුගේ නිසි මඟපෙන්වීම, ප්‍රජා සංවිධානය සහ රාජ්‍ය හා ප්‍රජා ආයතන අතර සාර්ථක සම්බන්ධීකරණය තුළින් ගම්මට්ටමේ පවතින සමාජ හා සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී විසඳුම් සෙවිය හැකි බවට මැද්දෙකන්ද ප්‍රජා ජල ව්‍යාපෘතිය මනා නිදසුනකි.
