ආපදා කළමනාකරණ කටයුතු ශක්තිමත් කිරීමට යුද්ධ හමුදාවට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාහන
ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ හානි වූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් ආපදා රථයක් (Wrecker) සහ ටිපර් රථයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීම අද (12) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම භාරදීමේ උත්සවය පැවැත්විණි.
“ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ” වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජයේ දායකත්වයෙන් ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය විසින් මෙම වාහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ප්‍රදානය කර තිබේ.
ඒ අනුව, ආපදා රථය ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයා වෙත ද, ටිපර් රථය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ද නිල වශයෙන් භාරදෙනු ලැබීය.
මෙම වාහන ප්‍රදානය තුළින් ආපදා අවස්ථාවලදී හදිසි ප්‍රතිචාර දැක්වීමේ සහ ප්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කිරීමේ ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, ආපදා කළමනාකරණ කටයුතුවලදී සිවිල් ආයතන සහ ආරක්ෂක අංශ අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම ද මෙහි අරමුණකි.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විධායක නිලධාරීහු රැසක් සහභාගී වූහ.
