අද ලෝක ජනාවාස දිනය : සැමරුමට සමගාමීව පාපැදි සවාරියක්!
2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සංවිධානය කරන පාපැදි සවාරියක් ඊයේ (04) දඹුල්ලෙන් ආරම්භ කර අද (05) ලෝක ජනාවාස දිනයේදී අරලියගහ මන්දිරය අසලින් අවසන් කිරීමට නියමිත බව වාර්තා විය.
පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ පෙරවරු 7.30ට දඹුල්ල නගරයෙන් ආරම්භ වී ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස සහ වරකාපොල හරහා නිට්ටඹුව නගරයෙන් අවසන් වන බවත්, මෙම අදියර සඳහා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිත බවත් පැවසුණි.
දෙවන අදියර අද – 05 වෙනි දා පෙරවරු 6.30ට නිට්ටඹුව නගරයෙන් ආරම්භ වී යක්කල, මිරිස්වත්ත, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, ගාමිණී හෝල්, ලේක් හවුස් වටරවුම සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අරලියගහ මන්දිරය අසලින් අවසන් කිරීමට නියමිතය.
එම සමාප්ති අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද ඊට එක්වීමට නියමිතය.
මෙම පාපැදි සවාරිය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමුඛ පෙළේ පාපැදි ධාවකයින් ද සහභාගී වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා විය.
