ශක්තිමත් රාජ්‍ය පංගුවක් සහිත කාර්යක්ෂම බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගීම රජයේ අරමුණයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ පැවැත්ම සඳහා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පංගුවක් රජය සතුව පවත්වා ගනිමින්, කාර්යක්ෂම හා ජනතාවට ගුණාත්මක සේවාවක් සපයන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අතීතයේදී බලශක්ති ක්ෂේත්‍රයට අයත් රාජ්‍ය ආයතන දේශපාලනීකරණයට ලක්වීම සහ මූල්‍යමය අර්බුදවලට මුහුණදීම හේතුවෙන් එම ආයතන පිළිබඳ ජනතාව තුළ විශ්වාසය අඩු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම ආයතන පෞද්ගලීකරණය කළ යුතු බවට මතයක් ද සමාජය තුළ ගොඩනැගුණු බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, රාජ්‍ය මැදිහත්වීමේ අවශ්‍යතාව තහවුරු කළ හැක්කේ එම ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ජනතාව අපේක්ෂා කරන සේවාව ලබාදීම තුළින් බවද ජනාධිපතිවරයා පැවසීය. දේශපාලන වුවමනා මත සේවකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය නතර කරමින්, අවශ්‍යතාව මත පමණක් වෘත්තීයමය පදනමින් සේවකයන් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පසුගිය වසරේ රුපියල් බිලියන 36ක ලාභයක් වාර්තා කර ඇති අතර, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) රුපියල් බිලියන 3.5ක ලාභයක් ලබා ඇති බවද ජනාධිපතිවරයා පැවසීය. මේ වසරේ මේ දක්වා CPC ආයතනය රුපියල් බිලියන 28ක ලාභයක් වාර්තා කර ඇති බවද සඳහන් කළේය.
ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ මීළඟ ප්‍රධාන අභියෝගයක් බවත්, දැනට පවතින ගබඩා ධාරිතාව දින 23ත් 25ත් අතර කාලයකට පමණක් ප්‍රමාණවත් වන බැවින් එය අවම වශයෙන් දින 45ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඒ සඳහා නළ පද්ධති පුළුල් කිරීම, ගොඩබෑමේ කාලය අඩු කිරීම සහ ඝන මීටර් 104,000ක ධාරිතාවකින් යුත් නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එම සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට ජනතාව, සැපයුම්කරුවන් සහ භාණ්ඩාගාරය අතර බෙදා ගැනීමට රජය කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට මාස පහක කාලයක් සඳහා රුපියල් බිලියන 60ක ඉන්ධන සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබාදී ඇති අතර, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන සඳහා තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් වෙන් කර ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම, ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම තුළින් මේ වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 384ක විදේශ විනිමයක් උපයා ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
කටුනායක ගුවන්තොටුපොළේ දැනට පවතින වාර්ෂික මගී ධාරිතාව තවත් මිලියන 10කින් ඉහළ නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක නව ව්‍යාපෘතියක් නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවත්, එහිදී බවුසර් මඟින් ඉන්ධන සැපයීම වෙනුවට සෘජු නළ මාර්ගයක් මඟින් ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අද මුල්ගල තැබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
තවද, පොදු ප්‍රවාහනය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ධීවර යාත්‍රා සහ එළවළු ප්‍රවාහන ලොරි රථ වැනි සැබෑ අවශ්‍යතා සහිත ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් ඉන්ධන සහනාධාර ලබාදීම සඳහා නව ඩිජිටල් යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
දීර්ඝකාලීන දැක්මකින් යුතුව ගනු ලබන තීන්දු හරහා ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් මෙන්ම ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනැගෙමින් පවතින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
