දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකුට සීමාවාසික පුහුණුව සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ!

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ (02) පෙරවරුවේ කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්‍රතීතන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වසරක සීමාවාසික පුහුණු කාලයක් සඳහා දිවයින පුරා පිහිටි රෝහල් 31ක් වෙත මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කෙරෙන අතර, එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක මුඛ සෞඛ්‍ය සේවාවක් සැපයීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ රට මුහුණ දෙන සෞඛ්‍ය අභියෝගවල ස්වභාවය අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බැවින්, ඊට ගැළපෙන පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියද අඛණ්ඩව පරිවර්තනය විය යුතු බවයි.

ජනගහනය වයස්ගත වීම සහ රෝගාබාධවල ස්වභාවය වෙනස් වීම හමුවේ, දැනට පවතින මානව හා භෞතික සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් කළමනාකරණය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වර්තමාන සෞඛ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.

වසර 75ක් හෝ 100ක් පැරණි පද්ධතියක් වුවද, වෙනස් කළ යුතු අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත දේශන මහාචාර්ය දිලිප් ද සිල්වා සහ විශේෂඥ වෛද්‍ය ගාමිණී නවරත්න යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, අධ්‍යක්ෂ (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය කේ.ඒ.ආර්.පී. ජයතිලක, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අරුණ අබේවර්ධන යන මහත්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පත්වීම්ලාභී දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

END/GONP/MMP/03102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed