පළාත් පාලන මැතිවරණය කල් දැමීම භයානක පූර්වාදර්ශයක් – කොළඹ අගරදගුරු තුමා – මෙලනි මානෙල් පෙරේරා


“පළාත් පාලන මැතිවරණය කල් දැමීම භයානක පූර්වාදර්ශයක් විය හැකි අතර එය අවසානයේ ජාතිය ඒකාධිපති පාලනයකට තල්ලු කරනු ඇත. මැතිවරණය නොපවත්වන බව මැතිවරණ කොමිසම තවමත් ප්‍රකාශ කර නොමැති නිසා හෙට දිනයේදී අධීකරනය හරහා උත්තරීතර තීන්දුවක් ලැබෙනු ඇතැයි ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිති.”යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ආණ්ඩුවේ වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනෙකු පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය සම්බන්ධයෙන් කතෝලික සභාවේ මතය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ – පෙබරවාරි 21 වැනිදා අගරදගුරු මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එසේ ප්‍රකාශ කළේ ය.

 
පළාත් පාලන මැතිවරණය මුල් කර ගනිමින් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ විශේෂ නිවේදනය කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් එම මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කරනු ලැබිණි.
 
2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වැළැක්වීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරන බව පෙනෙන්නට තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පරමාධිපත්‍යය ජනතාවට හිමිවන බවත් පරමාධිපත්‍යයේ අයිතිය ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා ජනතාව සතු ප්‍රධානතම සහ වැදගත්ම අවස්ථාව වන්නේ ජනතා නියෝජිත පරිපාලන ආයතන සඳහා තම අභිමතය පරිදි නියෝජිතයින් පත්කර ගැනීම බවත් සඳහන් කරන අගරදගුරු හිමිපාණන් ඒ සඳහා මෙම ඡන්දය ප්‍රකාශ කිරීම ඔවුන් සතු මූලික මිනිස් අයිතිවාසිකමක් බව පෙන්වා දෙයි.
 
ඡන්දය ප්‍රකාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් බව ඔහු අවධාරණය කළ අගරදගුරු හිමි, ජාතිය වෙනුවෙන් පෙරට ඒම සියලුම දේශපාලන පක්ෂවල, සිවිල් සංවිධානවල සහ ආගමික නායකයන්ගේ යුතුකම යැයි සඳහන් කරයි.
“ඡන්ද බලය යනු ජනතාව තම පරමාධිපත්‍යය ප්‍රායෝගිකව භාවිතා කිරීමට භාවිතා කරන මෙවලමක් වන අතර එය ඔවුන් භුක්ති විඳින අයිතියකිග පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි සොයා බැලීම ජනාධිපතිවරයාගේ යුතුකමකි. එහෙත්, ඡන්දය පැවැත්වීමට ජනාධිපතිවරයා සහ රාජ්‍ය සේවකයින් අසමත් වුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනු ඇත.” යනුවෙන් කාදිනල් රංජිත් හිමිපාණන් එම නිවේදනයේ සඳහන් කර ඇත. 
 
ප්‍රකාශයට පත්කර ඇති පලාත් පාලන මැතිවරණය නිසි දින දී සාධාරණව පැවැත්වීමට බාධා නොකොට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා, රජය සහ සියලු අදාළ රාජ්‍යය ආයතනයන්හී බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද රදගුරු ඉල්ලිමෙහි සඳහන් වෙයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed