කුඩාගමදී පෞද්ගලික බසයක මෝටර් රථයක් ගැටී කාන්තාවකට තුවාල – ආර්.එෆ්.එම්.සුහෙල්
හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
අද (23) පස්වරු 1.30ට පමණ කුඩාගම සුසාන භූමිය ආසන්නයේ පිහිටි බස් නැවතුම්පොළ අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය මගීන් සඳහා කුඩාගම බස් නැවතුම්පොළේ නතර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථයක් එහි ගැටී තිබෙනවා.
මෝටර් රථයේ රියැදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුවී ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, බස් රථයේ සිටි මගීන්ට සිය ගමනාන්ත වෙත ළඟාවීම සඳහා වෙනත් බස් රථයකින් ගමන් කිරීමට සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
