ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයක් අත්විඳියි – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාව අඛණ්ඩව සැලකිය යුතු ලෙස ඉහළ ආහාර අනාරක්ෂිත භාවයක් අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි. පසුගිය වසරේ සිට ඔවුන්ගේ දෛනික ආහාර ක්‍රමයෙන් ඔවුන්ට අහිමි වන බව අප අත්විඳින බැවින් අපි මෙම ප්‍රකාශය සමඟ එකඟ වන්නේ යැයි ජාතික ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය  පවසයි.
 
ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ (USAID) මානුෂීය ආධාර කාර්යාංශයේ (BHA) ආසියා, ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සඳහා වන අධ්‍යක්ෂ ස්ටෙෆනි විල්කොක් WFP පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

සංචාරය අතරතුර, විල්කොක් දුප්පත් ග්‍රාමීය ප්‍රජාවන් ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට මුණගැසුණු අතර, WFP හි එක්සත් ජනපද අරමුදල් සහිත වැඩසටහන් ආර්ථික අර්බුදය විසින් ගෙන එන අභියෝග ජය ගැනීමට ඔවුන්ට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30 කට වඩා වැඩි ප්‍රමාණයකට විශේෂයෙන් දුප්පතුන් ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයක් අත්විඳිමින් සිටින බව ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ වඩබලන අධ්‍යක්ෂ ජෙරාඩ් රෙබෙල්ලෝ පැවසීය. 

සංචාරයේ කොටසක් ලෙස විල්කොක් රත්නපුරයට ගිය අතර එහිදී ඇය ඉහළ ආහාර මිල ගණන් හා විරැකියාවෙන් පෙළෙන ආහාර අනාරක්ෂිත පවුල් සමඟ කතා කළාය. ප්‍රජාවට නොකඩවා මාස හතරක් සඳහා රුපියල් 20,000 (ආසන්න වශයෙන් US$55) වටිනා WFP හරහා එක්සත් ජනපදයේ අරමුදල් සහිත මුදල් ආධාර ලැබෙනු ඇත, එමඟින් දේශීය වෙළඳපල තුළ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිත භාවය සම්බන්ධයෙන් ජෙරාඩ් රුබෙල්ලෝ විසින් නොබෝදා සිදුකළ අදහස් තවදුරටත් තහවුරු කරමින් මෝජෝ නිවුස් වෙත අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (NAFSO) ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ (PARL) සම්බන්ධීකාරක ප්‍රියංකර කොස්තා, උතුරු නැඟෙනහිර ඇතුළු රට පුරා දිස්ත්‍රික්ක 15 ක ධීවර ගොවී සහ බිම් මට්ටමේ පීඩිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන ඔවුන් ජෙරාඩ් රුබෙල්ලෝ ගේ එම ප්‍රකාශය ඉතා සත්‍යයක් බව පැවසීය.

“පසුගිය වසරේ සිට ඔවුන්ගේ දෛනික ආහාර ක්‍රමයෙන් ඔවුන්ට අහිමි වෙමින් පවතී බව අපි අත්විඳිනවා”, යැයි ඔහු කීවේය. 
 
දිනපතා තුන්වේල පමණක් නොව ඉතා හොඳ පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීමට පුරුදුව සිටි ධීවරයින් මෙන්ම ගොවීන් ද පළ කරන අදහස් ගෙනහැර දක්වමින් ප්‍රියංකර කොස්තා පෙන්වා දුන්නේ, ඔවුන් වත්මන් තත්ත්වයට අනුව, මස් මාලු , මිල අධික එළවළු පරිභෝජනය කිරීම බොහෝ අවමකර ඇති බව කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළ බවයි.

සෑම ඉරිදා දිනකම මස් පරිභෝජනයට පුරුදුව සිටී ජනතාව දැන්  සම්පූර්ණයෙන්ම මස් අනුභවය නතර කර ඇති බවත් පවුලේ සිටින අය ගණනට පමණක් මාළු ගණන්කර පිස ගන්නා බවත් ප්‍රකාශ කර ඇත.
 
මේ අනුව මුළු රටේම ජනතාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඒ අතරින් රට මැද ජීවත් වන දුප්පත් ජනතාව සහ වතුකරයේ ජනතාව අර්බුදයේ ප්‍රධානම කොටසක් බවට පත්ව සිටින බව ප්‍රියංකර කොස්තා පැවසීය. 

මෙම පිරිසෙන් බහුතරයක් කෘෂිකාර්මිකයින් වුවද වර්තමානයේ ප්‍රධාන වශයෙන් දෛනිකව ආහාරයට ගැනීමට සිදුව ඇත්තේ බත් සහ එක් එළවළු වර්ගයක් පමණක් බව සඳහන් කළ ප්‍රියංකර මේ තත්ත්වය හේතුවෙන් කුසගින්න ට වැඩිපුරම ගොදුරු වී තිබෙන්නේ ගැබිනි මවුවරුන් සහ දරුවන් යැයි කීහ.

හිස් කෑම පෙට්ටි රැගෙන පාසල් යා නොහැකි නිසා පාසල් එන සිසුන් සංඛ්‍යාව සියයට 50 දක්වා පහත වැටී ඇති බවත් ආහාර නොමැතිකම ඊට හේතුව බවත් පාසැල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රියංකර කොස්තා පැවැසීය. 


අතීතයේ දී ආහාර අතින් ස්වයංපෝෂිත වූ ශ්‍රී ලංකාව මෙවන් ඛේදවාචකයකට මුහුණ පා ඇත්තේ රාජ්‍ය පාලනය කරන පුද්ගලයන් තම බලය රැකගැනීමේ එකම අරමුණින් ක්‍රියා කරන නිසාත් අර්බුදවලට මුහුණ දෙමින් ජීවත් වන රටේ පුරවැසියන් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *